කාන්තාවන් සහ තරුණයින් අතර දැනටමත් පවතින කුසලතා හුදෙක් ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා නොවී, ආදායම් ලබන ව්‍යාපාර, ස්ථාවර ජීවනෝපායන් සහ අනාගතයේදී අන් අයට රැකියා අවස්ථා නිර්මාණය කරන ව්‍යවසායකත්වයන් ලෙස වර්ධනය විය යුතුය. පුහුණුවක සැබෑ සාර්ථකත්වය සහතික පත්‍රයක් ලබා ගැනීම තුළ නොව, එම පුහුණුව තුළින් පුද්ගලයෙකුගේ ජීවිතයේ සහ පවුලේ ආර්ථික තත්ත්වයේ සිදුවන වෙනස තුළ පවතින බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය.
උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද පළාත් ප්‍රදර්ශනය – 2026 2026.09.02 බදාදා යාපනය අරියාලයි ශ්‍රී පාර්වතී විද්‍යාලයේදී ආරම්භ විය.
ප්‍රදර්ශනය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, මෙහි ප්‍රදර්ශනය කර ඇති භාණ්ඩවලට වඩා ඒවා පිටුපස ඇති කැපවීම, පවුල්වල සිහින සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ පවතින විශ්වාසය සහ ජීවිතය ඉදිරියට ගෙනයාමට දරන උත්සාහය තමන්ට ඉතා වැදගත් ලෙස පෙනෙන බවයි. ග්‍රාම සංවර්ධනය යනු පාරක් තැනීම, ගොඩනැගිල්ලක් ඉදිකිරීම හෝ ව්‍යාපෘතියකට මුදල් වෙන්කිරීම පමණක් නොව, ගමක මානව සම්පත එහි ශක්තිය බවට පත්කිරීම සැබෑ ග්‍රාම සංවර්ධනය බව එතුමා පැවසීය.
මනාලියන් හැඩගැන්වීම, කේක් සෑදීම, මෝස්තර නිර්මාණය (මහන කටයුතු), අත්කම් භාණ්ඩ නිෂ්පාදනය ඇතුළු බොහෝ කුසලතා මීට වසර කිහිපයකට පෙර නිවස තුළදී ඉගෙන ගත් සාමාන්‍ය කුසලතා විය හැකි බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා, වර්තමාන පරිසරය තුළ ඒවා නිවසේ සිටම ආදායම් ලබන ව්‍යාපාර බවට පත්කර ගත හැකි බව පැවසීය. විශේෂයෙන්ම කාන්තාවන්ට පවුලේ වගකීම් සහ දරුවන් පිළිබඳව සොයා බලන අතරතුරම ආදායම් ඉපැයීමේ අවස්ථා වැඩි වී ඇති බවද එතුමා පෙන්වා දුන්නේය.
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන සහ කාන්තා ග්‍රාම සංවර්ධන සමිති හරහා වෘත්තීය පුහුණු, ස්වයං රැකියා අවස්ථා සහ වෙළඳපල පහසුකම් නිර්මාණය කිරීම අගය කළ යුතු බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා, මෙම උත්සාහයන් තවදුරටත් වර්ධනයා යුතු බව පැවසීය. පුහුණුව ලබා දුන්නා යන්නෙන් කටයුතු අවසන් නොකර, පුහුණුවෙන් පසු වෙළඳපල, පාරිභෝගිකයින්, ප්‍රමිතිය, ඇසුරුම්කරණය සහ අලෙවි අවස්ථා සමඟ පුහුණුවන්නන් සම්බන්ධ කරන සම්පූර්ණ ප්‍රවේශයක් නිර්මාණය විය යුතු බව එතුමා අවධාරණය කළේය.
මෙම ප්‍රදර්ශනය හරහා එළිදක්වන කුසලතා අද දින උත්සවයෙන් අවසන් නොවී, අද ඇති කුසලතාව හෙට දින ව්‍යාපාරයක් ලෙසත්, අද ලබන කුඩා ආදායම හෙට දින ස්ථාවර ආදායමක් ලෙසත්, එක් අයෙකුගේ ස්වයං රැකියාව හෙට දින බොහෝ දෙනෙකුගේ රැකියා අවස්ථාවක් ලෙසත් පත්වීම තමන්ගේ අපේක්ෂාව බව ආණ්ඩුකාරවරයා පැවසීය.
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගජනි පාර්තිපන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමරන් මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙසත්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය විශේෂ ආරාධිතයා ලෙසත්, උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඒ. සෝදිනාදන් මහතා ගෞරවනීය ආරාධිතයා ලෙසත් සහභාගී වූහ. බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ දිනේෂි කුමාරි රාජපක්ෂ මහත්මිය සම්පත්දායකයකු ලෙස සහභාගී වූවාය.
ප්‍රදර්ශනයේදී කාන්තාවන්ගේ සහ තරුණයින්ගේ කුසලතා නිරූපණය වන අත්කම් සහ ස්වයං රැකියා සම්බන්ධ නිෂ්පාදන ප්‍රදර්ශනය කර ඇත.






