විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ නිසි අධීක්ෂණයකින් තොරව නළ ළිං ඉදිකරන බව සහ අර්ධද්වීපයේ භූගත ජල සම්පත් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සැලකිල්ලට ගනිමින්, නල ළිං ඉදිකිරීම නිසි නියාමනයකට යටත් කිරීමට පියවර ගැනීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මූලික සාකච්ඡාවකදී තීරණය කර ඇත.
උතුරු පළාතේ, විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ නළ ළිං ඉදිකිරීම නියාමනය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2026.09.22) අඟහරුවාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කිසිදු අධීක්ෂණයකින් තොරව අර්ධද්වීපයේ නළ ළිං ඉදිකිරීම හේතුවෙන් භූගත ජල සම්පත්වලට ඇති විය හැකි බලපෑම් සහ මෙය නිසි ලෙස පාලනය කිරීමේ ක්‍රියා පටිපාටි පිළිබඳව රැස්වීමේදී විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.
මේ අතරතුර, ජල සම්පත් මණ්ඩලයේ උතුරු ප්‍රාදේශීය කළමනාකරු විසින් නල ළිං ඉදිකිරීම නියාමනය කිරීමේ අරමුණින් 2016 දී නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් විධිවිධාන පැහැදිලි කරන ලදී.
ඒ අනුව, නළ ළිං ඉදිකිරීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ අවසරය ලබා ගත යුතු බවත්, ජල සම්පත් මණ්ඩලයේ ලියාපදිංචි අයට පමණක් නළ ළිං ඉදිකිරීම සඳහා යන්ත්‍රෝපකරණ භාවිතා කළ හැකි බවත් ගැසට් පත්‍රයේ සඳහන් වන බවත් අවධාරණය කරන ලදී.
කෙසේ වෙතත්, එම ගැසට් නිවේදනයේ තවත් කරුණු කිහිපයක් වත්මන් තත්ත්වයන්ට අනුකූලව වැඩිදියුණු කළ යුතු බව සාකච්ඡාවේදී පෙන්වා දෙන ලදී. මේ මත පදනම්ව, අවශ්‍ය සංශෝධන අඩංගු නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ගරු පරිසර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
තවද, නිසි අවසරයකින් තොරව හෝ සුදුසු ක්‍රියා පටිපාටි අනුගමනය නොකර නළ ළිං ඉදිකිරීම සම්බන්ධයෙන් මහජනතාවට ජල සම්පත් මණ්ඩලයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දෙන ලදී.
ඒ සමඟම, නළ ළිං ඉදිකිරීම වාණිජ කටයුත්තක් ලෙස සලකනු ලබන බැවින්, එවැනි කටයුතුවල නියැලෙන්නන් පළාත් පාලන ආයතනවලින් සුදුසු ව්‍යාපාරික බලපත්‍ර ලබාගෙන ජල සම්පත් මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති බව සහතික කිරීමට අනාගතයේදී පියවර ගැනීමට තීරණය කරන ලදී.
අර්ධද්වීපයේ භූගත ජල සම්පත් ජනතාවගේ පානීය ජලය සහ ජීවනෝපාය අවශ්‍යතා සමඟ සෘජුවම සම්බන්ධ වැදගත් ස්වාභාවික සම්පතක් වන බැවින්, එහි භාවිතය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා සුදුසු රෙගුලාසි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, පළාත් පාලන කොමසාරිස් – මූලස්ථානය, යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රාදේශීය කොමසාරිස්, උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝජිතයා, ජල සම්පත් මණ්ඩලයේ උතුරු ප්‍රාදේශීය කළමනාකරු සහ ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සාකච්ඡාවට සහභාගී වූහ.

