කිළිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල කර්මාන්තපුර පිහිටුවීම සඳහා ඉඩම් හඳුනාගැනීමේ කටයුතු ආරම්භ කෙරේ

උතුරු පළාතේ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අරමුණින් කිළිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල නව කර්මාන්තපුර පිහිටුවීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ආරම්භ කර ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති යසස් හේවගේ මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා අතර අද (14.10.2026) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

මීට පෙර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සමඟ පැවති හමුවේදී ඇති කරගත් එකඟතාවට අනුව මෙම ඉඩම් හඳුනාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා අවධාරණය කළේය.

තවද, මෙම සාකච්ඡාවේදී අච්චුවේලි සහ පූන්තෝට්ටම් කර්මාන්තපුරවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා වන වැඩපිළිවෙළ, ණය පහසුකම් සැලසීම සහ අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් පැහැදිලි කරන ලදී.

මෙම සාකච්ඡාවට ආණ්ඩුකාර ලේකම්වරයා සහ කර්මාන්තපුර අධ්‍යක්ෂවරයා ද සහභාගි වූහ.