උතුරු පළාතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්ය ක්ෂේත්රය නැංවීම සහ කිරි හා මස් වැනි අමුද්රව්ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කරන කර්මාන්තශාලා උතුරු පළාත තුළම ස්ථාපිත කිරීම සඳහා සැමගේ සහයෝගය අත්යවශ්ය බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා ප්රකාශ කර සිටී. සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය එස්. බණ්ඩාර මහතා සහ ගරු ආණ්ඩුකාරතුමා අතර අද (2026.10.15) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ හමුවේදී මේ බව අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාවේදී පළාතේ පවතින පශු වෛද්ය හා නිලධාරී පුරප්පාඩු, පැරණි වාහන භාවිතය නිසා ඇතිවන ප්රවාහන අපහසුතා, ඖෂධ බෙදාහැරීම සහ කෘතිම සිංචන ද්රව්ය සැපයීම වැනි පරිපාලන හා තාක්ෂණික අභියෝග පිළිබඳව පළාත් අධ්යක්ෂවරයා විසින් දීර්ඝ ලෙස පැහැදිලි කරන ලදී. සේවක පුරප්පාඩු පියවා සුදුසු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
ජාතික නිෂ්පාදනයට උතුරු පළාතේ දායකත්වය සියයට 10 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයේදී සත්ව පාලන ක්ෂේත්රය ප්රධාන කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් විය. දිවයිනේ සමස්ත එළු මස් නිෂ්පාදනයෙන් සියයට 60 ක් උතුරු පළාතෙන් සැපයෙන බව සලකා බලමින්, නව ප්රභේද හඳුන්වාදීම, රෝග පාලනය, විධිමත් ගොවිපළ කළමනාකරණය සහ තණකොළ වගාව දිරිගැන්වීම තුළින් නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව අධ්යක්ෂ ජනරාල්වරයා උපදෙස් දුන්නේය.
මීට අමතරව, සෑම දිස්ත්රික්කයකම පශු වෛද්ය රෝහල් පිහිටුවීම, ගොවීන්ගේ නිවෙස් වෙතම ගොස් සේවා සපයන ජංගම වාහන පහසුකම් ඇති කිරීම සහ සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා පිහිටුවීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එමෙන්ම, වැඩිවෙමින් පවතින සතුන් සොරාගැනීම් සහ නීති විරෝධී ලෙස සතුන් ඝාතනය කිරීම පාලනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් අවශ්ය බව ද අවධාරණය කෙරිණි. මෙම හමුව සඳහා ප්රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.



