“ඕනෑම පාසලක නැගීම හෝ බිඳවැටීම තීරණය වන්නේ එහි විදුහල්පතිවරයා මතයි.” – ගරු ආණ්ඩුකාරතුමා.

“විශ්වවිද්‍යාලයට වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කිරීම පාසලකට ආඩම්බරයක් නොවේ. තම සමාජයට සේවා මනෝභාවයෙන් යුතුව සේවය කිරීම සඳහා අප කෙතරම් සිසුන් පිරිසක් දායාද කර තිබේද යන්න මතම පාසලක සැබෑ අභිමානය රැඳී පවතී” යැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය.

මුලතිව්, මුල්ලියාවලෙයි විද්‍යානන්ද විද්‍යාලයේ 75 වැනි සංවත්සර ‘පබළු ජයන්ති’ (Coral Jubilee) උත්සවය ඊයේ සහ අද යන දිනවලදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහි දෙවන දිනය වූ අද (2026.06.06) සෙනසුරාදා පස්වරු 3.30 ට පැවැති විශේෂ දෙවන සැසියේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් උත්සවය විභූතිමත් කළේය.

විද්‍යාලයේ විදුහල්පති කේ. ජෙයවීරසිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ඓතිහාසික උත්සවයේදී පාසලේ ඉතිහාසය විදහා දක්වන ‘විද්‍යාදීපම්’ (Vithyatheepam) කෘතිය එළිදක්වන ලදී. එමෙන්ම අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් ඇතුළු අධ්‍යාපන, ක්‍රීඩා සහ සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් දක්ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් ආණ්ඩුකාරතුමා අතින් තෑගි, සහතික පත් සහ සමරු තිළිණ පිරිනමනු ලැබීය. තවද, පාසලේ ‘විද්‍යාලයේ විශිෂ්ටතම පුත්‍රයා’ (Vithiyin Sirappumigu Mainthan) සම්මානය, වෛද්‍ය ආචාර්ය වීරකත්තිපිල්ලෙයි ෂන්මුගරාජා මහතා සහ ආචාර්ය වී. නවනීදන් මහතා වෙත ආණ්ඩුකාරතුමා විසින් පිරිනමන ලදී.

මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද සඳහන් කළේය:
“විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනෙකුගේ කැපවීම නිසා අද මෙම පාසල උසස් තත්ත්වයකට පත්ව තම පබළු ජයන්තිය සමරයි. මම නිරන්තරයෙන්ම අවධාරණය කරන්නේ නායකත්වයයි. ඕනෑම පාසලක නැගීම හෝ බිඳවැටීම තීරණය වන්නේ එහි විදුහල්පතිවරයා මතයි. යහපත් නායකත්වයක් ඇති වුවහොත් එම ආයතනය දියුණු වේ; වැරදි නායකත්වයක් ලැබුණහොත් එය පරිහානියට පත්වේ. නායකත්ව ගුණාංග නොමැති පුද්ගලයින් උසස් තනතුරුවල සිටීම නිසා අපට දිනපතා බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. නායකත්ව ගුණාංගවලට අමතරව ඔවුන් තුළ සමාජ වගකීම සහ මානුෂීය ගුණාංග නොමැතිකම නිසා පීඩාවට පත්වන්නේ අපේ ජනතාවයි.

‘ඉහළ පෞරුෂයකින් සහ යහපත් ගුණාංගවලින් හෙබි හෙට දවසේ නායකයින් බිහිකිරීමේදී උතුරු පළාතේ ප්‍රමුඛතම පාසලක් ලෙස මෙය ගොඩනගමු’ යැයි පාසලේ විදුහල්පතිවරයා සිය වාර්තාවේ සඳහන් කර තිබුණි. ඔහුගේ එම දුරදක්නා නුවණට මගේ ප්‍රණාමය පුද කරමි. කාලීනව අවශ්‍ය කරුණක් ඔහු ඉදිරිපත් කර ඇත. ඉගෙනගෙන උසස් තත්ත්වයකට පැමිණ මුදල් සෙවීම පමණක් සෑහේ යැයි බොහෝ දෙනා සිතති. වර්තමාන නව පරපුරේ ඉලක්කය ද එයම වී ඇත. එය සම්පූර්ණයෙන්ම වැරදිය. නව පරපුරට සේවා මනෝභාවය යනු කුමක්දැයි නොදන්නා කාලයක් බවට මෙය පත්වෙමින් තිබේ. එබැවින් පාසල් මගින් කුඩා අවදියේදීම දරුවන්ට මුදලට වඩා සේවයට මුල්තැන දීමට හුරු කළ යුතුය.

අද මෙම පාසලෙන් උපහාර ලැබූ වෛද්‍ය ෂන්මුගරාජා සහ ආචාර්ය නවනීදන් යන මහත්වරුන් දෙදෙනාම මම හොඳින් හඳුනමි. සේවා ක්ෂේත්‍රයන් මුදල් උපයන ව්‍යාපාර බවට පත්වෙමින් පවතින වර්තමාන වටපිටාවක, ඔවුන් තම ජීවිතය පවා නොතකා කෙසේ සේවය කළේද යන්න විදුහල්පතිවරයා මෙහිදී සිහිපත් කළේය. ප්‍රශංසා සහ ගෞරව පසුපස නොයන මිනිසුන් සොයා ඒවා නිතැතින්ම ඇදී එයි. ඔවුන් මෙන් අද සිටින මෙම දරුවන්ද හෙට දවසේ බිහිවිය යුතු නිසාම මෙම උපහාරය පිරිනමන බව විදුහල්පතිවරයා පැවසීය; එය සම්පූර්ණ ඇත්තකි. ඔබද එවැනි සේවා හදවතක් ඇති අය ලෙස හැදී වැඩිය යුතුය. ඔවුන් මේ සමාජය වෙනුවෙන් දිනපතා සිතන මිනිසුන්ය.

අප කෙතරම් ඉගෙනගෙන උසස් තත්ත්වයකට පත් වුවද සමාජයට සේවයක් නොකළහොත් හෙට දවසේ කිසිවෙකු අපට ගරු නොකරනු ඇත. මුදල් ඉපයීමෙන් පමණක් ගෞරවය නොලැබේ. සේවය කළහොත් පමණක් ගෞරවය ලැබේ. මා මෙම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ මෙහි සිටි හමුදා නිලධාරියෙක් මාගෙන් විමසා සිටියේ, ‘මෙහි අධ්‍යාපනය ලබන මෙම දිස්ත්‍රික්කයේ දරුවන් නැවත මෙම දිස්ත්‍රික්කයට සේවය කිරීමට නොපැමිණෙන්නේ ඇයි?’ කියාය. අපේ දරුවන් තුළ අපේ දිස්ත්‍රික්කයට, අපේ ජනතාවට සේවය කළ යුතුය යන උත්තේජනය ඇති කළ යුතුය. එය කළ හැක්කේ පාසල්වලට පමණි.

අද බස් රථවල ගමන් ගන්නා විට ජලය පානය කර හිස් බෝතලය පාරට විසි කරති. පාරේ යන විට කුණු දමති. එය සිදුකරන වත්මන් නව පරපුරට තමන් කරන්නේ වරදක් යන හැඟීම හෝ වැරදිකාරී හැඟීමක් ඇති නොවේ. ඔවුන් ඒ තරමටම වෙනස් වී ඇත. එබැවින් ඔවුන්ට නිවැරදි දේ කියා දී ඔවුන්ව වෙනස් කිරීමේ විශාල වගකීමක් පාසල්වලට මෙන්ම අපටද ඇත. මෙය කිරීමට අප අපොහොසත් වුවහොත්, අනාගතයේදී සමාජය ගැන සිතන පරපුරක් නැතිවී යනු ඇත. එබැවින් පාසල් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය,” යනුවෙන් එතුමා පැවසීය.

මෙම අවස්ථාවට පාසලේ ගුරුවරුන්, ආදි සිසුන්, සිසුන් සහ පාසල් ප්‍රජාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.