මූලික පහසුකම් නොමැතිකම නිසා ගම්මාන අත්හැර ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය නොවන පරිදි ඔවුන්ගේ උපන් ගම්මාන සංවර්ධනය කළ යුතුයි – ගරු ආණ්ඩුකාරතුමා

“ඕනෑම පසුගාමී ගම්මානයක වුවද එහි වෙසෙන ජනතාව වෙත අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව ගලා යාම සහතික කිරීම සඳහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය දැඩි උනන්දුවක් දක්වයි.

ඒ අනුව, ඉරණයි ඉලුප්පෛකුලම් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක මධ්‍යස්ථානය ඉදිරි කාලයේදී වැඩිදියුණු කළ පහසුකම් සහිතව ශ්‍රේණිගත කිරීම (Upgrade) කෙරෙහි අවධානය යොමු කළ හැකි බව” උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ඉරණයි ඉලුප්පෛකුලම් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක මධ්‍යස්ථානයේ නව දන්ත වෛද්‍ය අංශයේ කටයුතු අද (2026.03.26) බ්‍රහස්පතින්දා පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරිණි.

රෝහලේ වගකිවයුතු වෛද්‍ය නිලධාරිනී ඒ.කේ. දිව්‍යා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරයා ඉහත අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසීය:
“මම 2011 වසරේ මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස මාස එකොළහක කාලයක් සේවය කළා. එතැන් සිටම මෙහි පවතින දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීම කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු වුණා. පසුගිය වසරේ මම ඉරණයි ඉලුප්පෛකුලම් ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මෙම රෝහලේ පවතින අඩුපාඩු සෘජුවම දැකගත්තා. ඒ අනුව සිදුකළ විශේෂ ප්‍රතිපාදන වෙන් කිරීම් හරහා මේ වන විට මෙහි පහසුකම් කිහිපයක් වැඩිදියුණු කර තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශවල මූලික පහසුකම් නොමැති බව පවසමින් ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම වැළැක්වීමට නම් ඔවුන්ගේ උපන් ගම්මාන සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය උපරිම සහය ලබාදීමට අප සූදානම්. අප ඉදිරිපත් කරන ඕනෑම සාධාරණ ඉල්ලීමකට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මෙම රජය ඉතා ඕනෑකමින් සවන් දී ඒ සඳහා සාධනීය ප්‍රතිචාර දක්වනවා.

මෙය අපට ලැබී ඇති ඉතා හොඳ අවස්ථාවක්. මෙම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනිමින් අපේ ගම්මානවල අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියලුම මූලික අවශ්‍යතා සපුරා ඒවා සංවර්ධිත ගම්මාන බවට පත්කිරීමට අප සැවොම එක්ව කටයුතු කළ යුතුයි.”

මෙම සමාරම්භක අවස්ථාවට මන්නාරම දිස්ත්‍රික් ලේකම්, මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මඩු ප්‍රාදේශීය ලේකම්, මඩු ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මන්නාරම ප්‍රාදේශීය දන්ත වෛද්‍ය නිලධාරී සහ මන්නාරම දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.