තමන්ව තවදුරටත් දියුණු කර ගැනීමට සහ ආර්ථික වශයෙන් වර්ධනය වීමට සැබෑ උනන්දුවක් දක්වන ජනතාවට පමණක් රජයට උපකාර කළ හැකිය. එසේ නොවී, රජය ලබා දෙන දේ පමණක් ලබා ගනිමින් අලසව සිටීමට බලාපොරොත්තු වන අයට කිසිදු උපකාරයක් කළ නොහැකි බවත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඉරණයි ඉලුප්පයිකුලම් ජනතාව තමන්ට ලැබෙන අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම ගම්මානය සංවර්ධන මාවතට යොමු කිරීමට දක්වන උනන්දුව බෙහෙවින් අගය කළ යුතු බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ප්‍රකාශ කළේය.
ඉරණයි ඉලුප්පයිකුලම් ගම්මානයේ ගොවීන් විසින් ආරම්භ කරන ලද ලොකු ලූනු බීජ නිෂ්පාදන අස්වනු නෙලීමේ සමාරම්භක උත්සවය, මන්නාරම දිස්ත්‍රික් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ආර්. ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2026.03.26) බ්‍රහස්පතින්දා මධ්‍යහ්නයේදී පැවැත්විණි. එහි අස්වනු නෙලීම ආරම්භ කරමින් ආණ්ඩුකාරවරයා ඉහත අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය:
“ජනතාවගේ ජීවනෝපාය මාර්ග නංවාලීමකින් තොරව කිසිදු සංවර්ධනයක් සාර්ථක වන්නේ නැහැ. හුදෙක් මාර්ග පද්ධති සැකසීමෙන් හෝ ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් සංවර්ධනයේ සැබෑ ඉලක්ක කරා ළඟා විය නොහැකියි. මුලින්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් විය යුතුයි.
පසුගිය වසරේ මා ඔබේ ගම්මානයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ඔබ කෘෂිකර්මාන්තය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව පදනම් කරගෙන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මෙම ලොකු ලූනු බීජ නිෂ්පාදනය සඳහා වන විශේෂ ව්‍යාපෘතිය ඔබට ලබා දෙනු ලැබුවා.
කෘෂිකර්ම උපදේශකවරයා සඳහන් කළ පරිදි, මෙහි සිටින බොහෝ ගොවීන්ට මෙම ව්‍යාපෘතිය අලුත් අත්දැකීමක් වුවද, ඔබ සැවොම මහත් උනන්දුවෙන් එය සාර්ථක කර තිබෙනවා. මෙවැනි උනන්දුවක් දක්වන ප්‍රජාවන්ට පමණයි අපට අඛණ්ඩව උදව් කළ හැක්කේ. ගොවීන්ගේ නොපසුබට උත්සාහය සහ අදාළ නිලධාරීන්ගේ කැපවීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
ඔබේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට පමණක් සීමා නොකර විදේශ රටවලට අපනයනය කිරීමටත් උත්සාහ කළ යුතුයි. අතරමැදියන්ගේ බලපෑමෙන් තොරව අපේ ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ වෙළෙඳපොළක් ලබා දීමට අපි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. දැනට විදේශ අපනයන ඉලක්ක කරගනිමින් ‘උතුරු පළාත් අපනයනකරුවන්ගේ සංගමය’ පිහිටුවා ඇති අතර ඔවුන් සමඟද අපි මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන්ට ගුණාත්මක කෘෂිකාර්මික නිෂ්පාදන අඛණ්ඩව අවශ්‍ය වන බැවින්, ඔබට එම නිෂ්පාදන ක්‍රමවත්ව සැපයිය හැකිනම් ඔවුන් හරහා ඔබේ නිෂ්පාදන අපනයනය කිරීමටද හැකියාව ලැබෙනු ඇත.”
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත රුපියල් මිලියන 10.5ක ප්‍රතිපාදන වෙන් කරමින් මෙම ලොකු ලූනු බීජ නිෂ්පාදන සහ කෘෂිකාර්මික ළිං ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් 30 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ අනූතුන්දහසක් වටිනා කෘෂිකාර්මික යෙදවුම් ලබා දී ඇති අතර කෘෂිකාර්මික ළිං 30ක් ප්‍රතිසංස්කරණය කර භාර දෙන ලදී.
මාස තුනක කාලයකින් යුත් මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග මීටර් හය බැගින් වූ බිම් ප්‍රමාණයක සිදුකළ මෙම වගාව මගින් ලැබෙන ලූනු බීජ යොදාගෙන ඉදිරියේදී අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක ලොකු ලූනු වගා කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.
මෙම අවස්ථාවට උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, මඩු ප්‍රාදේශීය ලේකම්, මන්නාරම දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඇතුළු රජයේ උසස් නිලධාරීන් සහ ගොවීන් රැසක් සහභාගී වූහ.



