වර්තමාන කාලවකවානුව තුළ සිසුන් අතර නායකත්ව ගුණාංග වර්ධනය කිරීම අතිශය වැදගත් කාර්යයක් බවත්, නායකත්ව ගුණාංග නොමැතිව කිසිවක් ජයගත නොහැකි බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ප්‍රකාශ කළේය.
පෙළපොත් අධ්‍යාපනයට සමගාමීව, සිසුන්ගේ සහජ දක්ෂතා ඔප්නැංවීම සඳහා වන විෂය සමගාමී ක්‍රියාකාරකම් (Co-curricular Activities) සඳහා සිසුන් යොමු කිරීම තුළින්ම ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ශිෂ්‍ය භට බලකායේ (National Cadet Corps) සංවිධානයෙන්, උතුරු පළාතේ එම බලකායේ කටයුතු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද (2026.03.17) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට එක්වෙමින් ආණ්ඩුකාරවරයා ඉහත අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා:
“අපේ සමාජය පෙළපොත් අධ්‍යාපනය සහ විභාග ප්‍රතිඵල කේන්ද්‍ර කරගනිමින් සිසුන්ව මෙහෙයවනවා මිස, ඔවුන්ගේ පෞද්ගලික කුසලතා වර්ධනය කරන විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට දිරිගන්වන්නේ නැහැ. අධ්‍යාපනයට අමතරව ක්‍රීඩා සහ ජාතික ශිෂ්‍ය භට බලකායේ පුහුණුවීම් වැනි අංශවලට සිසුන් යොමු කළහොත් පමණයි ඔවුන් විනයගරුක යහපත් පුරවැසියන් ලෙස වගේම නායකත්ව ගුණාංගවලින් හෙබි පිරිසක් ලෙසත් ගොඩනැගෙන්නේ.
සමහර පාසල්වල විදුහල්පතිවරුන් සහයෝගය ලබා දුන්නත්, තවත් සමහර පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ජාතික ශිෂ්‍ය භට බලකායේ කටයුතුවලට නිසි සහයෝගයක් ලබා නොදෙන බවත්, සිසුන් දිරිගන්වන්නේ නැති බවත් ශිෂ්‍ය භට බලකායේ නිලධාරීන් මට දන්වා තිබුණා. ඒ අනුවයි ඔවුන්ගේ ඉල්ලීම පරිදි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් කැඳවා මෙම දැනුවත් කිරීමේ රැස්වීම සංවිධානය කළේ,” යැයි පැවසීය.
මෙහිදී ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් (Presentation) සිදු කරන ලදී.
සිසුන් තුළ නායකත්ව ගුණාංග (Leadership Training), ආත්ම විශ්වාසය, පෞරුෂය සහ අසීරු අවස්ථාවන්හිදී තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙම බලකායේ ප්‍රධාන අරමුණයි. රටේ අනාගත නායකයින් බිහි කිරීමේදී මෙය කදිම පදනමක් වන බව එහිදී පැහැදිලි කෙරිණි.
මේ සඳහා සිසුන්ට කණ්ඩායම් මට්ටමින්, බලඇණි මට්ටමින්, පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් ඇගයීම් පැවැත්වීම, පෙළපාලි පුහුණුව, ශාරීරික අභ්‍යාස, නායකත්ව පුහුණුව, ඉදිරිපත් කිරීමේ කුසලතා, කලා කුසලතා පරීක්ෂණ, නේවාසිකාගාර නඩත්තුව, ආත්ම විශ්වාසය සහ වෙඩි තැබීමේ පුහුණුව ලබා දී පරීක්ෂණ පවත්වන බව පැහැදිලි කරන ලදී. එමෙන්ම, වාර්ෂික ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ, සාර්ක් රටවල සංචාර වැනි අවස්ථා ද තම ව්‍යාපෘතිවලට ඇතුළත් බව ජාතික ශිෂ්‍ය භට බලකාය පෙන්වා දුන්නේය.
ජාතික ශිෂ්‍ය භට බලකාය ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බැවින්, යාපනය ප්‍රදේශයේ ඇතැමුන් මෙය හමුදාව සමඟ සම්බන්ධ කර බලන බවත්, මෙය යුද්ධයට හමුදා සෙබළුන් බිහි කරන බලකායක් ලෙස වැරදි මතයක් පවතින බවත් මෙහිදී අවධාරණය කෙරිණි. මීට පිළිතුරු දෙමින් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, “මෙය යුධ පිටියට යන හමුදා සෙබළුන් බිහි කරන බලකායක් නොවෙයි. ජාතික ශිෂ්‍ය භට බලකායේ ප්‍රධාන අරමුණ විනයගරුක සහ නායකත්වයෙන් හෙබි ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීමයි. මෙයට සහ හමුදා සේවයට සෘජු සම්බන්ධයක් නැති බව අප පැහැදිලි කරනවා. ජනතාව තුළ ඇති මෙම මානසිකත්වය වෙනස් විය යුතුයි,” යනුවෙනි.
මීට අමතරව යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ඔවුන්ගේ ශිෂ්‍ය භට බලකා ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුකාර ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒ.පී.සී.ආර්. ප්‍රේමතිලක, පුහුණු අංශ ප්‍රධානී සහ උතුරු පළාත් භාර නිලධාරීන් ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.




