ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති 2025 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය අනුව උතුරු පළාත ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් වාර්තාවක් පිහිටුවා ඇත. පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර උතුරු පළාතේ අධ්‍යාපන ජයග්‍රහණ ඉතා විශිෂ්ට මට්ටමකට පැමිණ තිබේ.
මෙවර උසස් පෙළ විභාගය සඳහා උතුරු පළාතෙන් පෙනී සිටි මුළු අපේක්ෂකයින්ගෙන් (පාසල් අයදුම්කරුවන් සහ පෞද්ගලික අයදුම්කරුවන්) සිසුන් 9,191 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. එය විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාවෙන් 65.19% කි. මේ හරහා පළාත් අතර ශ්‍රේණිගත කිරීම්වලින් උතුරු පළාත ජාතික මට්ටමින් ගෞරවනීය ලෙස ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
තවද, ජීව විද්‍යා අංශය සහ කලා අංශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය අනුව ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානයත්, භෞතික විද්‍යා සහ වාණිජ අංශවලින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය අනුව ජාතික මට්ටමින් පස්වන ස්ථානයත් මෙවර උතුරු පළාත හිමිකරගෙන ඇත.
පසුගිය 2024 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූවන්ගේ ප්‍රතිශතය අනුව ජාතික මට්ටමින් දෙවන ස්ථානය ලබා සිටි උතුරු පළාත, මෙවර සිය ජයග්‍රහණ මට්ටම තවදුරටත් ඉහළ නංවා ගනිමින් ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. එමෙන්ම, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල පදනම් කරගත් සැසඳීමේදී උතුරු පළාත ජාතික මට්ටමින් තෙවන ස්ථානය දිනා ගැනීම ද සුවිශේෂී කරුණකි.
මීට අමතරව, මෙවර පළාත් මට්ටමින් සිසුන් 534 දෙනෙකු සියලුම විෂයන් සඳහා විශිෂ්ට සාමාර්ථ (3A) ලබාගෙන ඇත. එය විභාගයට පෙනී සිටි මුළු අපේක්ෂකයින්ගෙන් 3.79% කි. 3A සාමාර්ථ ලබාගත් සිසුන්ගේ ප්‍රතිශතය පදනම් කරගත් ශ්‍රේණිගත කිරීම්වලදී ද උතුරු පළාත ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් තවත් වාර්තාවක් තමන් සතු කරගෙන තිබේ.
උතුරු පළාතේ මෙම අධ්‍යාපනික වර්ධනය සහ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ සියලුම සිසුන්ට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අධ්‍යාපන බලධාරීන්ට සහ පළාත් පරිපාලන ව්‍යුහයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා සිය හෘදයාංගම සුබපැතුම් සහ ප්‍රශංසාව පිරිනමා සිටී.

