අනෙකුත් ආගම්වලට පවතිනාක් මෙන්, සෛව ආගමේ ගැටලු විසඳීමට සහ නියාමනය කිරීමට බලතල සහිත ස්ථිර පීඨයක් හෝ සභාවක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා අවධාරණය කළේය.
නල්ලූර් තිරුඥානසම්බන්ධර් ආදීනම්හි දෙවන ගුරු මහා සන්නිදානම් ශ්‍රීලශ්‍රී සෝමසුන්දර දේසික ඥානසම්බන්ධ පරමාචාර්ය ස්වාමීන් වහන්සේගේ පළමු ගුරු පූජා උත්සවය, චිත්තිරෛ තිරුවාදිරෛ දිනය වන අද (2026.04.22) බදාදා උදෑසන නල්ලෙයි ආදීනම්හිදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා, ගුරු මහා සන්නිදානම් ස්වාමීන් වහන්සේ අනුස්මරණය කරමින් නිකුත් කළ ‘සමරු කලාපය’ නිල වශයෙන් එළිදක්වමින් විශේෂ දේශනයක් පැවැත්වීය. එසේම, මෙම උත්සවයේ සුවිශේෂී අංගයක් ලෙස අපවත් වී වදාළ ගුරු මහා සන්නිදානම් ස්වාමීන් වහන්සේගේ පිළිරුවක් ද නිරාවරණය කෙරිණි.
එහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය “මම 2015 වසරේ යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුවයි, දෙවන ගුරු මහා සන්නිදානම් ශ්‍රීලශ්‍රී සෝමසුන්දර දේසික ඥානසම්බන්ධ පරමාචාර්ය ස්වාමීන් වහන්සේ සමඟ ඉතා සමීපව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ. එම කාල වකවානුවේදී කෝවිල් සම්බන්ධයෙන් විවිධ මතභේද සමාජයේ පැන නැගී තිබූ අතර, ඉන් සමහරක් අධිකරණය දක්වා ද ගොස් තිබුණි. ඒ පිළිබඳව ගුරු මහා සන්නිදානම් ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී, අනෙකුත් ආගම්වලට පවතිනාක් මෙන් සෛව ආගමට ද බලතල සහිත ස්ථිර පීඨයක හෝ සභාවක අවශ්‍යතාව උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ. එම අවශ්‍යතාව තවමත් පවතින බව මම විශ්වාස කරමි.
යාපනයට පැමිණෙන දේශපාලන නායකයින් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ අපගේ ආගම වෙනුවෙන් පෙනී සිටිමින් සාකච්ඡා කළ ප්‍රධාන පුද්ගලයා වූයේ දෙවන ගුරු මහා සන්නිදානම් ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ අපවත්වීම අපට විශාල අඩුවක් මෙන්ම පසුබෑමක් ද ඇති කර තිබේ. කෙසේ වෙතත්, එම ස්ථානයට සුදුසු අයෙකු දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම පෙන්වා දෙනු ඇතැයි මම විශ්වාස කරමි. අප සතු අඩුපාඩු මගහරවා ගනිමින්, අනාගතයේදී මෙම ආදීනම් ආයතනය තව තවත් දියුණු කිරීමට අප සැවොම එක්ව කටයුතු කරමු.
දෙවන ගුරු මහා සන්නිදානම් ස්වාමීන් වහන්සේ කිසිදු අහංකාරයකින් තොර, ඉතා යහපත් ගුණාංගවලින් හෙබි උතුමෙකු විය. සැමට එක හා සමානව ගරු කිරීමේ උතුම් ගුණාංගය උන්වහන්සේ සැමගේ ගෞරවාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුව විය. උන්වහන්සේ තමා වෙනුවෙන් කිසිවක් ඉල්ලා සිටියේ නැත. අප විසින්ම තේරුම් ගෙන උන්වහන්සේට අවශ්‍ය පහසුකම් කිහිපයක් සලසා දුන්නෙමු.
වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ කිසිදු පදනමක් නොමැතිව බොහෝ දෙනෙකුට මඩ ගැසීමේ ප්‍රවණතාවක් පවතී. ආචාර්ය ආරු තිරුමුරුගන් මහතා සම්බන්ධයෙන් ද මෑතකදී මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් පැතිර ගොස් තිබුණි. මෙවැනි පදනම් විරහිත අපහාසවලට ඔහු කිසිසේත් බිය නොවිය යුතුය. එමගින් අපගේ ආගම වෙනුවෙන් ඔහු ඉටුකරන සුවිශාල සේවය අත්නොහළ යුතුය.
යමෙක් යහපත් දෙයක් කිරීමට උත්සාහ කරන්නේ නම්, අපගේම සමාජයේ පිරිසක් එහි අඩුපාඩු සෙවීමට පෙළඹෙති. මෙලෙස දොස් පවරන හෝ මඩ ගසන පුද්ගලයන් එම යහපත් කාර්යයන් සිදු කරන්නේ නම්, සැබෑ ලෙසම සේවය කරන්නන්ට ඉවත් විය හැකිය. නමුත් ඔවුන් එම කාර්යයන් කරන්නේ ද නැත; සමාජය වෙනුවෙන් කටයුතු කරන අයට ඉඩ දෙන්නේ ද නැත. මෙය අපගේ සමාජයේ පවතින විශාල අභාග්‍යයකි. මෙය අප වෙනස් කළ යුතුය.”
මෙම අවස්ථාවට ආගමික නායකයින්, විද්වතුන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.




