ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර හමුවක් පැවැත්වේ

උතුරු පළාතේ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ඉඩම් අයිතිය සහ ආයෝජන අවස්ථා පිළිබඳව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර පැවැති සාකච්ඡාවකදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා අතර හමුවක් අද (13.05.2026) බදාදා පෙවරු වේ කිලිනොච්චිය, ඉයක්කච්චි හි පිහිටි ‘රීචා පාර්ක්’ (Richa Park) පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම හමුවේදී උතුරු පළාතේ වත්මන් තත්ත්වය, කෘෂිකර්ම හා ධීවර ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය, දිගුකාලීනව නොවිසඳී පවතින ඉඩම් ගැටලු සහ ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කළ හැකි ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීම සහ විශේෂයෙන්ම ගොවීන්ගේ නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම (value addition) කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම, කෘෂි නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන උතුරු පළාත තුළ ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවද ගරු ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දෙන ලදී.

තවද, ධීවර ක්ෂේත්‍රයේදී මුහුදු ආහාර, මුහුදු පැලෑටි සහ මුහුදු කූඩැල්ලන් වැනි දෑ සැකසීමේ කර්මාන්තශාලා පිහිටුවීම මඟින් දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ මිලක් ලබා දිය හැකි බව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය. මේ අනුව, කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන මිලදී ගැනීම, සැකසීම සහ ඒ සඳහා ශීතාගාර පහසුකම් ඇති කිරීම වෙනුවෙන් උතුරු පළාත තුළ පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමේ හැකියාවන් පිළිබඳව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා විමසා සිටියේය.

යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුවද, උතුරු පළාතේ තවමත් නිදහස් නොකර පවතින මහජනතාවගේ ඉඩම් පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා විය. විශේෂයෙන්ම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන ඇති ඉඩම් නිදහස් කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනිණි. තවද, අවතැන් වූ ජනතාව සිය ඉඩම් ඔප්පු සහ ලේඛන අහිමි වීම හේතුවෙන් දැනට මුහුණ දෙන නීතිමය ගැටලු පිළිබඳවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැහැදිලි කළේය.
මෙහිදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ඇතිව ඉඩම් ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ආරම්භ කර ඇති නව ව්‍යාපෘතිය පිළිබඳවද ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා විමසා දැනගත්තේය.

ඕස්ට්‍රේලියානු රජයේ ඩොලර් මිලියන 4ක පමණ මූල්‍ය ආධාර යටතේ, පළාත් පාලන ආයතනවල පරිපාලන ක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘වර්ධනය සඳහා පාලනය’ (Governance for Growth) ව්‍යාපෘතිය හරහා උතුරු පළාත වෙත අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම, මහජනතාවට අවශ්‍ය රාජ්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබා ගත හැකි ‘ඒකල කවුළු’ (Single-window system) ක්‍රමයේ සමාජ සත්කාරක මධ්‍යස්ථාන පිහිටුවීම සහ ආයෝජකයින් සඳහා වන සේවාවන් සරල කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙම හමුවේදී උපදෙස් හුවමාරු කර ගැනිණි.
උතුරු පළාතේ විවිධ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයකු ලෙස දිගුකාලීනව සේවය කර ඇති ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතාගේ පරිපාලන අත්දැකීම් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගේ ඉහළ ඇගයීමට ලක් විය. “උතුරේ බිම් මට්ටමේ පවතින ගැටලු ඔබතුමාට වඩා හොඳින් වටහා ගත හැකි වෙනත් කිසිවෙකු නැත” යන්න ඔහු ආණ්ඩුකාරවරයා වෙත ඉතා සංවේදීව ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියානු රජයේ මෙම සුභවාදී ප්‍රවේශය සහ උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගරු ආණ්ඩුකාරවරයා සිය අවංක කෘතඥතාව පළ කළේය.

මෙම හමුව සඳහා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.