යල කන්නයේ වී වගාව සඳහා රජයේ ඉඩම් බෙදා දීමේදී, දිළිඳු මට්ටමේ පසුවන ගොවීන්ටද එහි ප්‍රතිලාභ ලැබෙන අයුරින් එම කටයුතු ඉදිරියට ගෙන යා යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා අවධාරණය කළේය.
මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (12.05.2026) අඟහරුවාදා පෙවරු වේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේස්වරන් මහතාගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ වූ මෙම රැස්වීමේ මුලාසනය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ සමුපකාර අමාත්‍යංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා විසින් දරනු ලැබීය.
පසුගිය 2026.04.29 දින පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට මඟ හැරුණු කරුණු කෙරෙහි අද දින ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි.
රැස්වීමේ මුල් අදියරේදී දිස්ත්‍රික් මට්ටමේ ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එහිදී යල කන්නයේ වී වගාව සඳහා ඉඩම් බෙදා දීමේදී පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. වෙන්දේසි ක්‍රමය (ஏල முறை) හරහා ඉඩම් ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වුවද, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා වෙනමම විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරිණි. දිළිඳු ගොවීන්ගේ සුබසාධනය තහවුරු වන පරිදි ඉඩම් බෙදාදීම සිදු විය යුතු බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ එහිදීය.
මන්නාරම වැලිපර කේන්ද්‍ර කර ගනිමින් සංචාරක නෞකා ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමේ කටයුත්ත සඳහා, මන්නාරම ප්‍රාදේශීය සභාව සිය අනුමැතිය කඩිනමින් ලබා දිය යුතු බවට මෙම රැස්වීමේදී ඉල්ලීමක් ඉදිරිපත් විය. තවද, දිස්ත්‍රික්කයේ මහජනතාව මුහුණ දෙන විවිධ ප්‍රවාහන ගැටලු පිළිබඳවද අවධානය යොමු වූ අතර, ඒ සඳහා සුදුසු විසඳුම් යෝජනා කෙරිණි.
අවසාන වශයෙන්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණ සඳහා ඉදිරිපත් කර තිබූ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ඉල්ලීම් පිළිබඳවද සලකා බලා තීරණවලට එළඹුණි.
අද දින පැවැති මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ම. ජෙගදීස්වරන්, සෙල්වම් අඩෛකලනාදන්, කාදර් මස්තාන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධනුජා මුරුගේසන් මහත්මිය, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන), පළාත් පාලන ආයතනවල ගරු සභාපතිවරුන්, පළාත් සහ මධ්‍යම රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




