උතුරු පළාත තුළද ආයෝජන සිදු කිරීමට ඇතැම් ජපාන ආයෝජකයින් උනන්දුවෙන් පසුවන බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය මෙන්ම උතුරු පළාතේ පවතින පරිසරය පිළිබඳවද නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාතා මහතා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා වෙත ප්‍රකාශ කළේය.
උතුරු පළාතේ සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා අද (23.09.2026) බදාදා පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී හමුවී විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
මෙම හමුව ආරම්භයේදී උතුරු පළාතට පැමිණ සිටින ජපාන තානාපතිතුමා ආණ්ඩුකාරතුමා විසින් පිළිගනු ලැබූ අතර, උතුරු පළාතේ වර්තමාන සමස්ත තත්ත්වය, සංවර්ධන ප්‍රගතිය සහ පළාත මුහුණ දෙන ප්‍රධාන අභියෝග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළේය.
මෙහිදී උතුරු පළාත තුළ තමන් විසින් සිදු කරන ලද හමුවීම් පිළිබඳව ආණ්ඩුකාරතුමා දැනුවත් කළ ජපාන තානාපතිවරයා, සංහිඳියා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් නිරීක්ෂණය කළ කරුණුද බෙදා ගත්තේය.
උතුරු පළාතේ සංවර්ධනයේදී අතීතයේ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ ග්‍රාමීය ප්‍රදේශ සඳහා වත්මන් රජය වැඩි අවධානයක් යොමු කරමින් සිටින බව ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය. එම ප්‍රදේශවල සංවර්ධනය සඳහා සැලකිය යුතු මට්ටමේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
උතුරු පළාත තුළ අගය එකතු කළ නිෂ්පාදන පදනම් කරගත් කර්මාන්තශාලා ප්‍රමාණවත් ලෙස නොමැතිවීම සම්බන්ධයෙන්ද ආණ්ඩුකාරතුමා අවධානය යොමු කළේය. එමෙන්ම උතුරු පළාත තුළ අපේක්ෂිත ආයෝජන කලාප තුන සම්බන්ධයෙන්ද ඔහු තානාපතිවරයා දැනුවත් කළේය.
තවද, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සත්ත්ව පාලනය සහ සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර උතුරු පළාතේ ආර්ථික වර්ධනය සඳහා ඇති වැදගත්කම ආණ්ඩුකාරතුමා අවධාරණය කළ අතර, මීට අමතරවද විවිධ ක්ෂේත්‍රවල ආයෝජන සඳහා අවස්ථා පවතින බව ප්‍රකාශ කළේය.
උතුරු පළාතේ දළ ජාතික නිෂ්පාදනය සඳහා වර්තමාන දායකත්වය සියයට 4.6ක් වන අතර, එය සියයට 10ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සහිතව පළාත කටයුතු කරමින් සිටින බවද ආණ්ඩුකාරතුමා සඳහන් කළේය.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සඳහා ආයෝජකයින් තුළ ඇති උනන්දුව වැඩි වී ඇති බවද ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය. එමෙන්ම උතුරු පළාතේ ආයෝජන අවස්ථා තවදුරටත් සංවර්ධනය කිරීම සඳහාත්, නවීන තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහාත් ජපාන රජයේ සහයෝගය අවශ්‍ය බවද ඔහු ඉල්ලා සිටියේය.
මෙහිදී යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජනතාව විසින් සිදුකරන විරෝධතා පිළිබඳවද ජපාන තානාපතිවරයා විමසා සිටියේය. ජනතාවගේ අපේක්ෂාවන් රජය කෙරෙහි ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් බොහෝ අවස්ථාවල විරෝධතා පැවැත්වෙන බවත්, රජය විසින් අදියරෙන් අදියර ඉඩම් නිදහස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ආණ්ඩුකාරතුමා පැහැදිලි කළේය.
තවද, පලාලි ගුවන්තොටුපළ සඳහා 1986 වර්ෂයේ පමණ අත්පත් කරගත් ඉඩම් සඳහා වන්දි ලබාදීමේ යාන්ත්‍රණයක් වත්මන් රජය යටතේ ආරම්භ කර ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. යාපනය දිස්ත්‍රික්කයේ මෙම මාසය අවසන් වීමට පෙර තවත් ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.
ජනතාව සතුව පවතින ඉඩම් ලේඛන සහ ඉඩම් අයිතිය සම්බන්ධයෙන්ද තානාපතිවරයා විමසා සිටියේය. මේ සම්බන්ධයෙන් වන්නි ප්‍රදේශයේ ජනතාව සතුව පැවති ඉඩම් ලේඛන මෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු තුළ සංරක්ෂණය කර තිබූ ඉඩම් ලේඛනද යුද්ධය හේතුවෙන් විනාශ වීමෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා පැහැදිලි කළේය. මේ වනවිට ප්‍රාදේශීය මට්ටමේ රැස්වීම් පවත්වමින් ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමටත්, කිසිදු ගැටලුවක් නොමැති ඉඩම් සඳහා අයිතිය ලබාදීමටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම අතුරුදන් වූවන් සම්බන්ධ ගැටලුව පිළිබඳවද ජපාන තානාපතිවරයා විමසා සිටියේය. අතුරුදන් වූවන්ගේ පවුල් අතර රජය කෙරෙහි විශ්වාසය තවදුරටත් ගොඩනැගීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ඔහු උනන්දුව පළ කළේය. මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය තවදුරටත් කඩිනම් කළ යුතු බවට තම අපේක්ෂාව පවතින බවද තානාපතිවරයා සඳහන් කළේය.
ජපාන ආයෝජකයින් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ ආයෝජන පරිසරය නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන් කළ තානාපතිවරයා, උතුරු පළාත තුළද ආයෝජන සිදු කිරීමට ඔවුන් තුළ උනන්දුවක් පවතින බව ප්‍රකාශ කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් සමඟ සැසඳීමේදී උතුරු පළාත තුළ ජපාන භාෂාව හදාරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු බවත්, උතුරු පළාත තුළ ජපාන භාෂා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද තමන් අවධානය යොමු කරමින් සිටින බවත් ජපාන තානාපතිවරයා සඳහන් කළේය.
මෙම හමුවට උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ ලේකම්වරයා සහ ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්වරයාද සහභාගි වූහ.



