දේශගුණික විපර්යාස, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ වෙළඳපොළ අභියෝග වැනි සාධක හේතුවෙන් උතුරු පළාතේ ආහාර සුරක්ෂිතතාවට බලපෑමක් නොවන පරිදි, සමුපකාර ව්‍යාපාරය කේන්ද්‍ර කරගත් නව ක්‍රියාකාරී වැඩසටහන් සකස් කිරීමේ අරමුණින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් මට්ටමේ සාකච්ඡාවක් අද (2026.08.07) සිකුරාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
උතුරු පළාතේ සමුපකාර සමිති හරහා ආහාර සුරක්ෂිතතාව තිරසාර ලෙස ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවීන්ගේ ආදායම වැඩි කිරීම, අගය එකතු කිරීම, වෙළෙඳපොළකරණය සහ තරුණ සහභාගීත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාව සමුපකාර නායකත්වයෙන් යුත් ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ සංකල්පිත ලේඛනය පදනම් කරගනිමින් පැවැත්විණි.
සාකච්ඡාව ආරම්භයේදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, දේශගුණික විපර්යාස හේතුවෙන් උතුරු පළාතේ ආහාර නිෂ්පාදනයට කිසිදු අයුරකින් බලපෑමක් සිදු නොවිය යුතු බවත්, සමුපකාර සමිති යොදා ගනිමින් උතුරේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරන්නේ කෙසේද යන්න ප්‍රායෝගිකව අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කළේය.
ඊයේ දිනයේ සමුපකාර නිෂ්පාදකයින්ගේ සමිතිවල සිදුකළ ක්ෂේත්‍ර නිරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු ද මෙහිදී ඉදිරිපත් කරන ලදී. බොහෝ සමුපකාර නිෂ්පාදකයින් උසස් තත්ත්වයේ නිෂ්පාදනවල නියැලී සිටියද, ඔවුන් මුහුණ දෙන විශාලතම අභියෝගය වෙළඳපොළකරණය බව පෙන්වා දෙන ලදී.
ඊට පිළියම් ලෙස සමුපකාර නිෂ්පාදන සඳහා නවීන වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීම, නිෂ්පාදනවල ලේබල් සහ ඇසුරුම්කරණය නූතනත්වයට ගැලපෙන සේ සැකසීම, පාරිභෝගික රුචිකත්වයන් හඳුනා ගැනීම සඳහා විධිමත් වෙළඳපොළ පර්යේෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය පියවර ලෙස හඳුනා ගන්නා ලදී.
මේ සඳහා විශ්වවිද්‍යාලවල කළමනාකරණ සහ තාක්ෂණ පීඨ, පර්යේෂකයින් සහ විශේෂඥයින්ගේ සහයෝගයෙන් උතුරු පළාත් සමුපකාර නිෂ්පාදන සඳහා විස්තීරණ වෙළඳපොළ අධ්‍යයනයක් සිදු කිරීමේ යෝජනාවක් මධ්‍යම කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට තීරණය විය.
සමුපකාර සමිති සතුව දැනට භාවිතයට නොගෙන පවතින ගොඩනැගිලි, උපකරණ සහ සූදානම් කළ හැකි සෙසු දේපොළ හඳුනාගෙන, ඒවා නිෂ්පාදන සහ ආහාර සුරක්ෂිතතාව නැංවීම සඳහා නැවත භාවිතයට ගැනීමේ සම්පූර්ණ ව්‍යාපෘති යෝජනාවක් ද මධ්‍යම කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
තරුණයින් කෘෂිකාර්මික ක්ෂේත්රයට සම්බන්ධ කරගැනීමේ නව වැඩසටහන් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා විය. උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථාන භාවිත කරමින් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතය, නඩත්තුව සහ නවීන කෘෂිතාක්ෂණය පිළිබඳව තරුණයින්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ මෙහෙයවීම සහ නඩත්තුව පිළිබඳ කුසලතා පූර්ණ තරුණයින් බිහිකිරීම මෙන්ම, ඔවුන්ට නව ජීවනෝපාය සහ රැකියා අවස්ථා නිර්මාණය වන පරිදි ආණ්ඩුකාරවරයා හරහා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ මුදල් අමාත්‍යාංශයට ඒකාබද්ධ යෝජනා ඉදිරිපත් කළ යුතු බවද ප්‍රකාශ විය.
සමුපකාර නිෂ්පාදකයින්ගේ සමිති හරහා බීජ නිෂ්පාදනය පුළුල් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි. උසස් තත්ත්වයේ බීජ සමුපකාර සමිති වෙත ලබාදී දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමත්, විවිධ ආයතනවල සහයෝගයෙන් උතුරු පළාත උසස් තත්ත්වයේ බීජ නිෂ්පාදනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ හැකියාවන් පිළිබඳවත් කරුණු විමසා බලන ලදී.
එලෙසම, උතුරු පළාතේ කිරිගොවිතැන් ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ප්‍රායෝගික පියවර පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. අගය එකතු කරන ලද කිරි නිෂ්පාදන නිෂ්පාදනය සහ වෙළඳපොළකරණය නැංවීමට අමතරව, කෘතිම සිංචන සේවා, උසස් තත්ත්වයේ සත්ව ආහාර සහ පශු වෛද්‍ය සේවා ගොවීන් වෙත පුළුල් ලෙස ලබාදීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.
අධ්‍යාපන ක්ෂේත්රය සමඟ සබඳතා පැවැත්වීමේ වැදගත්කම ද මෙහිදී අනාවරණය විය. උතුරු පළාතේ පාසල් ආහාර වැඩසටහනට අවශ්‍ය අමුද්‍රව්‍ය සමුපකාර සමිති හරහා ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් පිළිබඳව අධ්‍යයනය කෙරිණි.
එසේම, වත්මන් චක්‍රලේඛවලට අනුකූලව පාසල් ආපනශාලාවල ද සමුපකාර නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව සැලසීම තුළින් සමුපකාර සමිති සඳහා තිරසාර දේශීය වෙළඳපොළක් නිර්මාණය කළ හැකි බව සඳහන් විය.
තවද, ඇතැම් පාසල්වල දිවා ආහාර වැඩසටහන්වල බිත්තර හෝ මස් භාවිත නොකරන තත්ත්වය සලකා බලා, සිසුන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලිය හැකි ප්‍රෝටීන් බහුල විකල්ප ආහාර ද්‍රව්‍ය සමුපකාර පද්ධතිය හරහා ලබාදීමේ හැකියාවන් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
සමුපකාර ව්‍යාපාරය යනු හුදෙක් ව්‍යාපාරික සංවිධානයක් පමණක් නොව, ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය ජීවනෝපාය, දේශීය ආර්ථිකය සහ සාමාජීය ස්ථාවරත්වය සම්බන්ධ කරන ප්‍රධාන මෙවලමක් වන බැවින්, රාජ්‍ය ආයතන, සමුපකාර සංවිධාන, විශ්වවිද්‍යාල, පෞද්ගලික අංශය සහ සංවර්ධන පාර්ශවකරුවන් එක්ව කටයුතු කරන ඒකාබද්ධ ප්‍රවේශයක ඇති අවශ්‍යතාව ද සාකච්ඡාවේදී අවධාරණය විය.
මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුකාර ලේකම්, අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍යාංශවල ලේකම්, ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, පළාත් අධ්යක්ෂවරුන්, ව්‍යාපෘති අධ්යක්ෂවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අහිලන් කදිරගාමර් මහතා, මධ්‍යම අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරීන්, ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සමුපකාර ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




