මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභා ශාලාවේදී අද (06.11.2026) පැවැති සුවිශේෂී ජයග්‍රහණ අත්කරගත් ගොවීන්, සත්ත්ව පාලකයන් සහ මිරිදිය ධීවර සමිති ඇගයීමේ උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන් . වේදනායගන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාරතුමා, පළාතේ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්රවල නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව අවධාරණය කළේය. වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන ස්ථාවර මිලදී ගැනීමේ ක්‍රමවේද, ගබඩා පහසුකම් සහ අගය එකතු කළ නිෂ්පාදන පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
ජාතික ආර්ථිකයට උතුරු පළාත ලබාදෙන දායකත්වය සියයට 4.5 සිට සියයට 10 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය ඇතිව කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ගරු ආණ්ඩුකාරතුමා, මාන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත ආයෝජන කලාපය තුළ කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්රිත අගය එකතු කළ කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.
එමෙන්ම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන වගා ක්‍රම අනුගමනය කිරීම, වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ විකල්ප බෝග වගාවන් කෙරෙහි යොමුවීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කරගත යුතු බව ද එතුමා ඉල්ලා සිටියේය. තවද, මෙවර යල කන්නයේදී උතුරු පළාත තුළ වී මෙට්‍රික් ටොන් 156,000ක නිෂ්පාදනයක් ලබාගෙන ඇති බව ද ගරු ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය.
ක්ෂේත්රය තුළ කැපවීමෙන් හා උනන්දුවෙන් සේවය කළ කෘෂිකර්ම උපදේශක ශිවරාම් මහතා සහ තාක්ෂණික සහකාර නාමගල් මහත්මිය වෙත ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රශංසා සහතික පත්‍ර ප්රදානය කරමින් ඇගයීමට ලක් කරන ලදී.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ශන්මුගරාජා සිවශ්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වත්තම්බි තිලකනාදන් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය, මුලතිව් දිස්ත්‍රික් ලේකම් අ. උමාමහේෂ්වරන් මහතා ඇතුළු රාජ්‍ය අංශයේ උසස් නිලධාරීන් සහ අදාළ ක්ෂේත්රයන්හි නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.





