වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් සමන්විත උසස් නිලධාරීන් පිරිසක් උතුරු පළාතේ සංචාරයක නිරත විය.

උතුරු පළාතේ තරුණ තරුණියන් අතර සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ උසස් මට්ටමින් සාකච්ඡාවක් සහ ඉන් අනතුරුව පලාලි හි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සජීවී ක්ෂේත්‍ර චාරිකාවක් අද (2026.02.19) පැවැත්විණි.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු අනුර කරුණාතිලක, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් අද උතුරු පළාතේ සංචාරයක නිරත විය. උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ගරු එන්. වෙදනායක මහතා විසින් දූත පිරිස නිල වශයෙන් පිළිගනු ලැබීය.

මෙයින් පසුව, උතුරු පළාතේ තරුණ තරුණියන් අතර සිවිල් ගුවන් සේවා අංශයට අදාළ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සාකච්ඡාවලින් පසුව, ඉහළ මට්ටමේ දූත පිරිස පලාලි හි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගියහ. නිලධාරීන් එහි දෛනික සේවාවන් සහ මෙහෙයුම් පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කළහ. ඊට අමතරව, ගුවන්තොටුපළේ වත්මන් අවශ්‍යතා, අඛණ්ඩ ඉදිකිරීම් කටයුතු සහ අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳව සංචාරයේදී විස්තරාත්මකව සාකච්ඡා කරන ලද අතර, අමාත්‍යවරයා ඇතුළු උසස් මට්ටමේ නිධාරීන් පිරිස එහි සිදුවෙමින් පවතින ඉදිකිරීම් කටයුතු ද නැරඹූහ.