
මසක කාලයක් පුරා ශුද්ධ වූ උපවාසයේ නිරත වී, දේව භක්තියෙන් හා අධ්‍යාත්මික විනයෙන් යුතුව එය නිම කර, ඊදුල් ෆිතර් හෙවත් රමළාන් උත්සවය සමරන උතුරු පළාත ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව වෙත මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව මම ඉමහත් සතුටට පත් වෙමි.
රමළාන් උත්සවය යනු හුදෙක් ආහාර පානවලින් වැළකී සිටීම පමණක් නොව, ඉවසීම, කැපකිරීම, සහෝදරත්වය සහ සෙසු මිනිසුන්ගේ දුක් වේදනා තේරුම් ගෙන ඔවුන්ට උපකාර කිරීම වැනි උදාර මානුෂීය ගුණාංග අවධාරණය කරන්නකි. තමා සතු දෙයින් කොටසක් නැති බැරි අය වෙත ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කරන මෙම උසස් සාරධර්ම වර්තමාන කාලයට ඉතාමත් අත්‍යවශ්‍ය වේ.
අපේ උතුරු පළාත සම්බන්ධයෙන් ගත් කල, මුස්ලිම් ජනතාව අනෙකුත් ප්‍රජාවන් සමඟ දිගු කලක් තිස්සේ සහෝදරත්වයෙන් හා සංහිඳියාවෙන් ජීවත් වෙති. මෙම රමළාන් උත්සවය අපට උගන්වන අන්‍යෝන්‍ය ආදරය සහ සහජීවනය පිළිබඳ පාඩම, ජාති හා ආගම් භේදවලින් ඔබ්බට ගොස් අප සැමට එකම ප්‍රජාවක් ලෙස එක්ව කටයුතු කිරීමට තවදුරටත් දිරිගන්වයි.
ගෝලීය වශයෙන් ජනතාව විවිධ අර්බුදවලට සහ යුද ගැටුම්වලට මුහුණ දී සිටින මෙම අවධියේදී, පීඩාවට පත් වූ සැමට සාමය සහ සහනය උදා විය යුතු යැයි මෙම සුබ දිනයේදී අපි සාමූහිකව ප්‍රාර්ථනා කරමු.
ගෝලීය අභියෝග මධ්‍යයේ කිසිවෙකුත් හුදකලා වීමට ඉඩ නොදී, අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරමින් සහෝදරත්වයෙන් කටයුතු කිරීම සමාජ ස්ථාවරත්වයට ශක්තිමත් පදනමක් වනු ඇත.
අභියෝග ජයගෙන, සැවොම එක්ව සමෘද්ධිමත් හා සාමකාමී සමාජයක් ගොඩනැගීමට මෙම රමළාන් උත්සවය ඔබ සැමට නව බලාපොරොත්තුවක් ලබා දෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.
ඔබ සැමට ප්‍රීතිමත් ඊදුල් ෆිතර් (රමළාන්) උත්සවයකට සුබ පැතුම්!
