පාසල් සිසුන්ගේ ආරක්ෂිත සහ බාධාවකින් තොර ගමනාගමනය තහවුරු කිරීමේ අරමුණින් ‘සිසු සැරිය’ බස් රථ සේවාව වවුනියාව – චෙටිකුලම් මාර්ගයේ ආරම්භ කෙරේ.

පාසල් සිසුන්ගේ ආරක්ෂිත ප්‍රවාහන සේවාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ‘සිසු සැරිය’ බස් රථ සේවාව ආරම්භ කිරීමේ උත්සවය ඊයේ (ජූනි 15 සඳුදා) වවුනියාව බස් නැවතුම්පොළේදී පැවැත්විණි.

සමූපාකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු උපාලි සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී වවුනියාවේ සිට චෙටිකුලම් දක්වා වූ මාර්ගයේ සිසුන් සඳහා වූ මෙම විශේෂ ප්‍රවාහන සේවාව නිල වශයෙන් ආරම්භ කරන ලදී.

උතුරු පළාත් මාර්ග ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉංජිනේරු එස්. විමලේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආරම්භක උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එම්. ජෙගදීශ්වරන්, ගරු එස්. තිලගනාදන් යන මහත්වරුන් මෙන්ම පාසල් සිසුන්, ගුරුවරුන් සහ මහජනතාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම සේවාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් මාර්ග ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉංජිනේරු එස්. විමලේශ්වරන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,”පාසල් සිසුන්ගේ ආරක්ෂිත සහ බාධාවකින් තොර ගමනාගමනය තහවුරු කිරීම අපගේ ප්‍රධාන වගකීමකි. ඒ අනුව මෙම ‘සිසු සැරිය’ බස් රථ සේවාව වවුනියාව – චෙටිකුලම් මාර්ගයේ අද දින ආරම්භ කරන ලදී. සිසුන්ගේ සුභසාධනය සැලකිල්ලට ගනිමින්, මෙම විශේෂ ප්‍රවාහන සේවාව ඉතා ඉක්මනින් උතුරු පළාතේ අනෙකුත් සියලුම ප්‍රදේශවලටද වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාප්ත කරනු ලැබේ. ඒ සඳහා වූ වැඩපිළිවෙළ මාර්ග ප්‍රවාහන අධිකාරිය විසින් මේ වන විටත් දියත් කරමින් පවතී,” යැයි සහතික විය.

සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීම සහ දෙමාපියන්ගේ ප්‍රවාහන වියදම් බර අඩු කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය උතුරු පළාත පුරා ව්‍යාප්ත කිරීමට නියමිත වීම විශේෂත්වයකි.