පශු වෛද්‍ය නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට සූදානම් බවත්, උසස්වීම් සඳහා වන ලකුණු ක්‍රමය සම්බන්ධයෙන් නැවත සලකා බලා කඩිනමින් අවශ්‍ය සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා ප්‍රකාශ කළේය.
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවේ නියෝජිතයින් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (28.09.2026) සඳුදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී ආණ්ඩුකාරතුමා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී උතුරු පළාත් පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්, තම උසස්වීම් සඳහා වන ලකුණු ලබාදීමේ ක්‍රමවේදය තුළ පක්ෂපාතීත්වයක් පවතින බව පෙන්වා දෙමින්, එය නැවත සලකා බලා සංශෝධනය කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් කළහ.
එමෙන්ම, මේ දක්වා තමන්ට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ රාජකාරි ලැයිස්තුවක් ලබාදී නොමැති බවත්, එය නිසි පරිදි සකස් කර ලබාදිය යුතු බවත් ඔවුහු ඉල්ලා සිටියහ. කාර්යාල රාජකාරි සහ ක්ෂේත්‍ර ප්‍රතිකාර සේවා ඇතුළු විවිධ රාජකාරි සඳහා ගැළපෙන ආකාරයේ පැමිණීම සටහන් කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවද ඔවුහු පෙන්වා දුන්හ.
පශු වෛද්‍ය නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ සිය සේවය කාර්යක්ෂමව ඉටු කිරීමේදී විවිධ පරිපාලන හා සේවාමය දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවද සංගම් නියෝජිතයින් ආණ්ඩුකාරතුමා වෙත දැනුම් දුන්හ.
ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා සඳහන් කළේ, ඕනෑම කරුණකට විසඳුම් ලබාගත හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් බවයි. තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කිරීමට යන බව ප්‍රකාශ කිරීමෙන් පසුව සාකච්ඡා කිරීමට අවකාශයක් නොමැති බවත්, එබැවින් ඔබ විසින් ඉදිරිපත් කරන ගැටලු නිසි පරිදි සාකච්ඡා කර විසඳුම් ලබාදීමට අප සූදානම් බවත් ආණ්ඩුකාරතුමා පැවසීය.
නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් අතර යහපත් සබඳතාවක් පැවතීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, “එවැනි යහපත් සබඳතාවක් පවතින විට පමණක් ගොවීන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමටත්, ඔබගේ සේවා පරිසරය වඩාත් යහපත් ලෙස සකස් කර ගැනීමටත් හැකි වේ. එමෙන්ම පරිපාලනය හෝ නිලධාරීන් සම්බන්ධයෙන් ඇති අතෘප්තිය ගොවීන් මත ප්‍රකාශ නොකළ යුතුය” යනුවෙන් අවධාරණය කළේය.
උසස්වීම් සඳහා වන ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම නැවත සලකා බලා, අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදු කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ආණ්ඩුකාරතුමා පැවසීය.
පැමිණීම සටහන් කිරීම සම්බන්ධයෙන් ඇඟිලි සලකුණු ක්‍රමය අනුගමනය කිරීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අදාළ කරුණක් බැවින් එය උල්ලංඝනය කළ නොහැකි බව පෙන්වා දුන් ආණ්ඩුකාරතුමා, එසේ වුවද සේවයේ නිරත පශු වෛද්‍ය නිලධාරීන්ට හිමි දීමනා ලබාදීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
එමෙන්ම, පශු වෛද්‍ය නිලධාරීන් විසින් ඉල්ලා ඇති රාජකාරි ලැයිස්තුව, කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සේවාමය කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සහ පළාත් අධ්යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් පුළුල් ලෙස කරුණු විමසා බැලීම සඳහා සාකච්ඡාවක් කඩිනමින් සංවිධානය කරන බවටද ආණ්ඩුකාරතුමා සහතික විය.
මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ ලේකම්, ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් සහ රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු පළාත් ශාඛාවේ නියෝජිතයින් සහභාගී වූහ.


