මුහුදු අට්ටා (Sea Cucumber) වගාව ඇතුළු ජලජ ජීවී වගාව සඳහා උතුරු පළාත භූගෝලීය වශයෙන් ඉතා යෝග්‍ය ස්ථානයක පිහිටා තිබුණද, අප තවමත් එයින් උපරිම ප්‍රයෝජන ගෙන නොමැති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය.
එබැවින් සියලුම දෙපාර්තමේන්තු ඒකාබද්ධව සිදුකරන ක්ෂේත්‍ර පරීක්ෂණ හරහා ජලජ ජීවී වගාවට සුදුසු ස්ථාන ඉදිරි මාස දෙක ඇතුළත හඳුනාගෙන වෙන් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
ජලජ ජීවී වගාව පිළිබඳ විශේෂ ඉහළ පෙළේ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු ඉ. චන්ද්‍රසේකර් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ සම සභාපතිත්වයෙන් ඊයේ (2026.04.01) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී වෙරළබඩ ජලජ ජීවී වගා ව්‍යාප්ති හා නිරීක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා විසින් වත්මන් තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන ලදී.
යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු අට්ටා වගාව මහා පරිමාණයෙන් සිදු කෙරෙන බව පෙන්වා දුන් ඔහු, විශේෂයෙන්ම වේලනෙයි, යාපනය, නල්ලූර් සහ චන්දිලිපායි යන ප්‍රදේශවල අක්කර 1,134ක පමණ ව්‍යාප්ත වූ මුහුදු අට්ටා ගොවිපළ 533ක් ක්‍රියාත්මක වන බව සඳහන් කළේය. මීට අමතරව කයිට්ස්, වේලනෙයි, සංකානෙයි සහ ඩෙල්ෆ් දූපත යන ප්‍රදේශවල මුහුදු පැලෑටි වගාව ද දැඩි ලෙස දිරිමත් කරනු ලබයි.
උතුරු පළාතේ භූගෝලීය පිහිටීම උපයෝගී කරගනිමින් නව වගා ව්‍යාපෘති හඳුන්වා දිය හැකි බවත්, ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඉස්සන්, කකුළුවන් සහ බෙල්ලන් වගා කිරීමටත්, මුහුදු අට්ටා පැටවුන් බෝ කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීමටත් අවස්ථාව පවතින බවත් ඔහු පැවසීය. එමෙන්ම මුහුදු සම්පත් නොමැති වවුනියාව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය විශේෂයෙන් ප්‍රවර්ධනය කළ හැකි බව ද පෙන්වා දෙන ලදී.
මෙම ක්ෂේත්‍රයේ ආයෝජකයින් සහ ගොවීන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
පැටවුන් බෝ කිරීමේ මධ්‍යස්ථාන හිඟකම, මන්නාරම (මාන්තෙයි බටහිර, නානාට්ටාන්) සහ කිලිනොච්චිය (පූනරින්) ප්‍රදේශවල අලුතින් ඉඩම් හඳුනා ගැනීමේදී වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු සමඟ ඇති වන ගැටලු, බලපත්‍ර ලබා දීමේදී රජයේ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිකම සහ කල් ඉකුත් වූ බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රමාදය ප්‍රධාන අභියෝග ලෙස හඳුනාගෙන ඇත.
යාපනයේ පවතින ගොවිපළවල තදබදය අවම කිරීම, පූනරින් වැනි ප්‍රදේශවල සිදුවන නීතිවිරෝධී ක්‍රියා පාලනය කිරීම සහ දේශීය ධීවරයින්ගේ සාම්ප්‍රදායික රැකියාවන් සමඟ ඇති වන ගැටලු විසඳීම සඳහා සුහද යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි. මෙවැනි අභියෝග ජය ගැනීම තුළින් උතුරු පළාතෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ අපනයන ආදායමක් ලබාගත හැකි බව ද ප්‍රකාශ විය.
මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාරවරයා, උතුරු පළාතේ බොහෝ සම්පත් තවමත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බව පෙන්වා දුන් අතර, ආයෝජකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට රජයේ දෙපාර්තමේන්තු කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. නීතිවිරෝධී වගා මධ්‍යස්ථාන විධිමත් කළ යුතු බවත්, සාම්ප්‍රදායික ධීවරයින් සමඟ ගැටුම් ඇති කර නොගෙන මෙම වගාවන් කරගෙන යාම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රමාදය සහ දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් නොමැතිකම සම්බන්ධයෙන් ආයෝජකයින් කරුණු පෙන්වා දුන් අතර, දකුණු පළාතට වඩා උතුරේ බලපත්‍ර ලබා ගැනීමේදී වැඩි ප්‍රමාදයක් පවතින බවට ද ඔවුහු කනස්සල්ල පළ කළහ.
යාපනය දිස්ත්‍රික්කයේ මෙවැනි වගාවන් සඳහා ඉඩම් වෙන් කිරීමේදී දේශීය ජනතාවගෙන් එල්ල වන විරෝධතා පිළිබඳව යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය ගරු ඉ. චන්ද්‍රසේකර් මහතා, නිසි සාකච්ඡා මගින් දේශීය ජනතාවගේ ඉල්ලීම් ද සැලකිල්ලට ගෙන කටයුතු කළ යුතු බව සඳහන් කළේය. තවද, ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලුම අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ක්ෂේත්‍ර පරීක්ෂණ පවත්වා කෙටි කාලයක් තුළ වාර්තා ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් දෙන ලදී.
ශ්‍රී ලංකාවේ මුහුදු අට්ටා වගාව සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇති විශිෂ්ට වෙළඳ නාමය (Brand Name) ආරක්ෂා කර ගැනීම සඳහා අවසරයකින් තොරව පවත්වාගෙන යන ගොවිපළවල් නියාමනය කිරීම අනිවාර්ය බව අමාත්‍ය ගරු ඉ. චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේය. දෙපාර්තමේන්තු කිහිපයක් යම් යම් සහන ලබා දීමට සූදානම්ව සිටින බැවින්, මෙම නියාමන කටයුතු සඳහා වගාකරුවන් ද පූර්ණ සහයෝගය ලබා දී එකඟතාවයකට පැමිණිය යුතු බව ඔහු ඉල්ලා සිටියේය.
මුහුදු අට්ටා වගාව සඳහා උතුරු පළාත වඩාත් සුදුසු බැවින් ඒ සඳහා ඉඩම් හඳුනා ගැනීමේ මාර්ග සිතියමක් (Roadmap) කඩිනමින් සකස් කළ යුතු බවත්, දැනටමත් ගැසට් පත්‍රයේ පළ කර ඇති ඉඩම් ප්‍රමුඛතා පදනමින් හඳුනාගත යුතු බවත්, එහිදී දේශීය ආයෝජකයින්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් අදාළ නිලධාරීන් ප්‍රකාශ කළහ.
මේ අතර මුහුදු අට්ටා වගා බිම් සඳහා ඉඩම් බදු ඉහළ දමා තිබීම සම්බන්ධයෙන් වගාකරුවන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ එය නිසි රෙගුලාසිවලට අනුකූලව සිදු කර ඇති බවයි.
මෙම සාකච්ඡාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, වෙරළබඩ ජලජ ජීවී වගා ව්‍යාප්ති හා නිරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් ඉඩම් කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන්, ආයෝජකයින් සහ වගාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.





