කීරීමලෙයි හි ගොඩගසා ඇති අපද්‍රව්‍ය යන්ත්‍රසූත්‍ර භාවිත කරමින් කඩිනමින් ඉවත් කිරීමට ආණ්ඩුකාරතුමාගෙන් උපදෙස්

කීරීමලෙයි ප්‍රදේශයේ අතීතයේදී හුණුගල් කැපීම හේතුවෙන් නිර්මාණය වූ විශාල ආගාධයන්ට (වලවල් වලට) අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඇතිව තිබෙන සෞඛ්‍ය අවදානම වහාම පාලනය කිරීම සඳහා, යන්ත්‍රසූත්‍ර භාවිත කරමින් එම අපද්‍රව්‍ය ඉක්මනින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා නියෝග කර ඇත.

කීරීමලෙයි ප්‍රදේශයේ අපද්‍රව්‍ය ගොඩගසා ඇති ප්‍රදේශයන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා අද (2026.09.24) බ්‍රහස්පතින්දා නිරීක්ෂණය කළේය.

මෙහිදී, අදාළ ප්‍රදේශය ඉතා අසතුටුදායක හා අශෝභන තත්ත්වයක පවතින බව නිරීක්ෂණය කළ ආණ්ඩුකාරතුමා, මෙය ‘විශාල විපතක්’ ලෙස හැඳින්වූ අතර, මෙම ප්‍රදේශයට දිගින් දිගටම අපද්‍රව්‍ය බැහැර කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කළේය.

මිනිස් ශ්‍රමය පමණක් යොදාගනිමින් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ප්‍රමාණවත් වේගයකින් සිදු නොවන බව පෙන්වා දුන් ආණ්ඩුකාරතුමා, යන්ත්‍රසූත්‍ර යොදාගනිමින් අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට අදාළ පාර්ශවයන්ට නියෝග කළේය.
එමෙන්ම, අනාගතයේදී මෙම ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂිත නිරීක්ෂණ කැමරා (CCTV) සවිකිරීමට පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරතුමා උපදෙස් දුන්නේය.

අතරවාරයේ, වලිගාමම් දකුණ ප්‍රාදේශීය සභාව මගින් අදාළ ප්‍රදේශයට බැහැර කර ඇති අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවට වලිගාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ති. ප්‍රකාශ් මහතා ආණ්ඩුකාරතුමාට පොරොන්දු විය.

එමෙන්ම, තෙල්ලිප්පලෙයි මූලික රෝහලෙන් අදාළ ප්‍රදේශයට බැහැර කර තිබූ අපද්‍රව්‍ය මේ වන විට ඉවත් කර ඇති බව එහි සේවයේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආණ්ඩුකාරතුමා වෙත දැනුම් දුන්නේය.

මෙහිදී, රෝහලේ වෛද්‍ය අපද්‍රව්‍ය (සෞඛ්‍ය අපද්‍රව්‍ය) තම සභාව මගින් ප්‍රවාහනය නොකරන බව වලිගාමම් උතුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සො. සුගීර්තන් මහතා පැවසීය.

කීරීමලෙයි ප්‍රදේශයේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අඛණ්ඩව නිරීක්ෂණ කටයුතු සිදු කරමින්, ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට හානි වන අයුරින් අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අත්‍යවශ්‍යතාවද ආණ්ඩුකාරතුමා මෙහිදී අවධාරණය කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස්, යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්, ප්‍රාදේශීය සභාවල ගරු සභාපතිවරුන්, වලිගාමම් උතුර ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ ගරු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.