‘උතුරු පළාත ඉදිරියටම ගෙන එන්නෙමු’ යන විශ්වාසය ඇතිව සෑම සිසුවෙකුම විභාග ශාලාවට ඇතුළු විය යුතුයි – ගරු ආණ්ඩුකාරවරයා

අධ්‍යාපනය සඳහා ලබා දෙන උපකාරය මිනිසෙකුගේ ජීවිතය වෙනස් කළ හැකි විශාලතම උපකාරය බවත්, ‘අපට කළ නොහැකි කිසිවක් නැත, උත්සාහ කළහොත් ඕනෑම දෙයක් කළ හැකිය’ යන ආකල්පයෙන් යුතුව සිසුන් තම ඉලක්කය කරා ගමන් කළ යුතු බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා අවධාරණය කළේය.

යාපනය වීරසිංහම් ශාලාවේදී අද (2026.08.08) සෙනසුරාදා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් උදෙසා සංවිධානය කර තිබූ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් අදහස් දක්වද්දී ඒ මහතා මේ බව පැවසීය.

නීතිඥ වේ. දේවසසේනාධිපති මහතාගේ සංවිධානයෙන් ක්‍රියාත්මක වූ මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රකට ව්‍යාපාරික නාගරත්නම් මහතා අනුග්‍රහය දක්වයි.

සිසුන් අමතමින් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, උතුරු පළාතේ අධ්‍යාපනික ප්‍රගතිය සෑම සිසුවෙකුගේම කැපවීම මත පදනම් වී ඇති බවයි. ‘මෙම වසරේදී උතුරු පළාත ඉදිරියටම ගෙන එන්නෙමු’ යන විශ්වාසයෙන් යුතුව විභාග ශාලාවට ඇතුළු විය යුතු බවත්, සෑම සිසුවෙකුගේම ජයග්‍රහණය ඔහුගේ පුද්ගලික ජයග්‍රහණයට පමණක් නොව උතුරු පළාතේ අභිමානය ඉහළ නැංවීමටද හේතු වන බවත් පැවසීය.

අවුරුදු දහසය යනු ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් බැවින්, හොඳ මිතුරන් තෝරාගෙන, වැරදි පුරුදු සහ කාලය නාස්ති කරන ක්‍රියාවලින් බැහැරව, අධ්‍යාපනය කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන ලෙස හෙතෙම සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. සමාජ මාධ්‍ය අධික ලෙස භාවිත කිරීම සහ කාලය නාස්ති කිරීම අනාගතයට බලපෑ හැකි බැවින් කාලය වගකීමෙන් යුතුව භාවිත කළ යුතු බවටද උපදෙස් දුන්නේය.

රජය සහ උතුරු පළාත් පරිපාලනය සිසුන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය උදෙසා විවිධ ආයෝජන සිදු කරමින් සිටින බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා, පාසල්, ගුරුවරුන්, පොත්පත් සහ අධ්‍යාපනික පහසුකම් යන සියල්ල නිර්මාණය කර ඇත්තේ සිසුන්ගේ ජයග්‍රහණය උදෙසා බව පැවසීය. එමෙන්ම, සිසුන්ගේ අනාගතය ගොඩනගා ගත යුත්තේ ඔවුන් විසින්ම බවද අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, අධ්‍යාපනය සඳහා කෙරෙන උපකාරය මිනිස් ජීවිතය වෙනස් කරන විශාලතම ආයෝජනය බව සඳහන් කළේය. ඒ වෙනුවෙන් සිසුන් සඳහා නොමිලේ සම්මන්ත්‍රණයක් සංවිධානය කර, ඊට අනුග්‍රහය දැක්වූ සංවිධායකයින්ගේ සමාජ වගකීම අගය කළ ඔහු, මෙවැනි ප්‍රයත්නයන් උතුරු පළාතේ අධ්‍යාපනික ප්‍රගතියට ශක්තිමත් දායකත්වයක් ලබා දෙන බව පැවසීය.

තවද, දෙමාපියන්ගේ කැපකිරීම්වලට සහ ගුරුවරුන්ගේ මෙහෙවරට ගෞරව කරමින්, අධ්‍යාපනයෙන් ඉදිරියටම යාම තුළින් ඔවුන්ගේ මහන්සියට හොඳම කෘතගුණ සැලකීම සිසුන් විසින් කළ යුතු බවද පැවසීය. ඉහළ ලකුණු ලබා ගැනීම පමණක් නොව, අවංකකම, හික්මීම, වගකීම සහ මානුෂීය ගුණාංගවලින් හෙබි හොඳ පුරවැසියන් ලෙස ගොඩනැගීමද අධ්‍යාපනයේ සැබෑ අරමුණ බව හෙතෙම අවධාරණය කළේය.

අද සිටින සිසුන් යනු හෙට දින වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, විනිසුරුවරුන්, පරිපාලකයින් සහ රට මෙහෙයවන නායකයින් බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා, විශාල සිහින දකින ලෙසත්, එම සිහින සැබෑ කර ගැනීම සඳහා කැපවීමෙන් හා නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කරන ලෙසත් සිසුන් දිරිමත් කළේය. උත්සාහ කරන කිසිවෙකු නැවැත්විය නොහැකි බවත්, මෙම වසරේ උතුරු පළාතේ අධ්‍යාපන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියනු ලබන්නේ අද සිටින සිසුන් බවට තමාට විශ්වාසයක් ඇති බවත් පැවසීය.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් සිවපාදසුන්දරම් සත්‍යශීලන්, නීතිඥ වේ. දේවසසේනාධිපති, අනුග්‍රාහක නාගරත්නම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත විශාල සිසුන් පිරිසක් සහ දෙමාපියන් පිරිසක්ද එක්ව සිටියහ.