පරිගණකගත රාජ්‍ය සේවාවන්හි මානුෂීයභාවය සහ කාර්යක්ෂමතාව අඩුවී ඇත – ගරු ආණ්ඩුකාරතුමා කණගාටුව පළ කරයි

උතුරු පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද පුහුණු පාඨමාලා සාර්ථකව නිමකළ රාජ්‍ය නිලධාරීන් 193 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අද දින (2026.11.04) ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන අාරාධිත අමුත්තා ලෙස සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා, මානව සම්පත භාවිතා කරමින් සෘජුවම සේවාවන් සැපයූ යුගයේ පැවති මානුෂීය ප්‍රවේශය සහ ඉක්මන්භාවය, තාක්ෂණික දියුණුවත් සමග පරිගණකගත වී ඇති වර්තමාන පරිසරය තුළ අඩුවී තිබීම කණගාටුවට කරුණක් බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන පුහුණුවීම් හරහා ලබාගන්නා දැනුම සහ කුසලතා ජනතාවට සේවය කිරීමේදී නිරූපණය විය යුතු බව පෙන්වා දුන් ගරු ආණ්ඩුකාරතුමා, ආසන්නයේ පිහිටි දෙපාර්තමේන්තු වෙත පවා ලිපිගොනු සෘජුවම භාර නොදී තපෑලෙන් යවා ප්‍රමාද කිරීමේ ක්‍රියාපටිපාටීන් පිළිබඳවද පෙන්වා දුන්නේය. තවද, වැඩ නොකර සිටීමෙන් ගැටලු මඟහරවා ගත හැකිය යන මානසිකත්වය වෙනස් කර, සමාජ මාධ්‍ය විවේචනවලට බිය නොවී වගකීම් සහගතව සහ නවෝත්පාදන චින්තනයෙන් යුතුව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, නිලධාරීන්ගේ උසස්වීම් ඇතුළු පරිපාලනමය අවශ්‍යතා පාලන අධිකාරිය විසින් නිසි වේලාවට ඉටුකර දිය යුතු බවත් ගරු ආණ්ඩුකාරතුමා අවධාරණය කළේය.

සම්පාදන ක්‍රියාවලිය, පොදු මුදල් කළමනාකරණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ පුහුණුකරුවන් සඳහා වන පුහුණු පාඨමාලා සාර්ථකව නිමකළ නිලධාරීන් වෙත මෙහිදී සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු), පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.