යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථාන භාරකාර අරමුදල් මණ්ඩලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ වෙයි

යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය පාලනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව පිහිටුවන ලද භාරකාර අරමුදල් මණ්ඩලයේ කටයුතු සාමාජිකයන්ගේ අත්සන් තැබීමත් සමඟ නිල වශයෙන් ආරම්භ කර ඇත. යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (2026.09.18) සිකුරාදා උදෑසන පැවැති උත්සවයකදී භාරකාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයෝ නිල ලේඛනවලට අත්සන් තැබූහ.

යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය විධිමත් පාලන ව්‍යුහයක් යටතේ ඉදිරියට ගෙනයාම සහ එහි අරමුණු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති මෙම මණ්ඩලයට නිල බලයෙන් පත්වන සාමාජිකයන් සිව්දෙනෙකු සහ විෂයානුබද්ධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් තේරී පත් වූ විශේෂඥ සාමාජිකයන් පස්දෙනෙකු ඇතුළත් වේ.

නිල බලයෙන් පත්වන සාමාජිකයන් ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වර්ණකුලසූරිය ප්‍රින්ස් සේනාධීර, යාපනය මහා නගර සභාවේ ගරු නගරාධිපතිනී වි. මතිවදනි, යාපනය මහා නගර සභාවේ නගර සභා කොමසාරිස් ටී. සී. අරවින්දරාජ් යන මහත්ම මහත්මීන් කටයුතු කරති.

ක්ෂේත්‍රයන් නියෝජනය කරන සාමාජිකයන් ලෙස කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයෙන් ශාන්තිනි සිවනේසන් මහත්මිය, නීති ක්ෂේත්‍රයෙන් ගණපතිපිල්ලෙයි ප්‍රභාකරන් මහතා, වාණිජ ක්ෂේත්‍රයෙන් රත්නවේලුපිල්ලෙයි මයූරනාදන් මහතා, අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කෝසලයි මදන් මහත්මිය සහ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයෙන් මහාචාර්ය සිවකොළුන්දු ශ්‍රීසට්ගුණරාජා මහතා යන මහත්ම මහත්මීන් නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් සාරා ජෝර්ජ් මහත්මිය ඉදිරියේ භාරකාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස අත්සන් තැබූහ.

මෙම අවස්ථාව, යාපනය තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය එහි අරමුණුවලට අනුකූලව විධිමත් කළමනාකරණයක් යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තැබූ වැදගත් ආරම්භක පියවරකි.