කාංචිරමෝට්ටෙයි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන කටයුතු ගරු ආණ්ඩුකාරතුමාගේ සෘජු නිරීක්ෂණයට

වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි කාංචිරමෝට්ටෙයි දේශසීමා ගම්මානයේ ජනතාව විසින් පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද ඉල්ලීම් අනුව ක්‍රියාත්මක කරන ලද සංවර්ධන කටයුතුවල ප්‍රගතිය උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජෙගදීස්වරන් මහතා විසින් අද (09.10.2026) සෘජුවම නිරීක්ෂණය කරන ලදී.

පසුගිය වසරේ සිදු කරන ලද ක්ෂේත්‍ර චාරිකාවකදී ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව මරුතෝඩෙයි – කාට්ටුප්පූවරසන්කුලම් මාර්ගයේ තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර, රුපියල් මිලියන 10ක වියදමින් පාලමක් ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී. වැසි සමය ආරම්භ වීමට පෙර එම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම, කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිකරන ලද ළිං තුනක්, නිවාස සඳහා ලබා දී ඇති අලි වැටවල් සහ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති ආධාර ද ගරු ආණ්ඩුකාරතුමා විසින් නිරීක්ෂණය කරන ලදී. එම පහසුකම් උපයෝගී කරගනිමින් තම ජීවනෝපාය සංවර්ධනය කරගැනීම සඳහා ජනතාව දරන උත්සාහයන් ද එතුමාගේ ඇගයීමට ලක් විය.

ජනතාව සමඟ පැවැති සාකච්ඡාවේදී නිවාස යෝජනා ක්‍රම, සෞඛ්‍ය සේවා, ඉඩම් ගැටලු, වැව් ප්‍රතිසංස්කරණය සහ වාරිමාර්ග පහසුකම් ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. විශේෂයෙන්ම, පෙරිය මරුතෝඩෙයි වැව ප්‍රතිසංස්කරණය කිරීම තුළින් අක්කර 420ක් දක්වා වූ භූමි ප්‍රමාණයක වී වගාව ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලදී. එමෙන්ම, එරුක්කලම් වැව සහ කාංචිරමෝට්ටෙයි වැව ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම වාරි ඇළ මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම් ද සාකච්ඡාවට ලක් විය.

දේශසීමා ගම්මානවල ජීවත් වන ජනතාවට තමන්ගේම ප්‍රදේශවල ජීවනෝපාය සංවර්ධනය කරගනිමින් ස්ථාවර ජීවිතයක් ගොඩනඟා ගැනීමට හැකි විය යුතු බව තම අපේක්ෂාව වන බව ගරු ආණ්ඩුකාරතුමා සඳහන් කළේය. එමෙන්ම, ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සේවය ද එතුමාගේ ඇගයීමට ලක් විය.

මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ දෙපාර්තමේන්තු නිලධාරීන්, ප්‍රාදේශීය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.