‘මන්නාරම ජනතාවගේ සෞඛ්‍ය විශ්වාසය වෙනුවෙන් තැබූ මුල්ගලක් ලෙස මම මෙය දකිමි’ – ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා

මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව අතීතයේදී තමන් වෙත ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ බවට හැඟීමකින් පසුවූ බව මම දනිමි. නමුත් එම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. අද වන විට ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන් නව හදිසි ප්‍රතිකාර ඒකකයක් ගොඩනැගේ. වෛද්‍යවරුන් සඳහා නිල නිවාස ඉදිවේ. ළමා වාට්ටුවක් නිර්මාණය වේ යැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ඉන්දියානු රජයේ රුපියල් මිලියන 600 ක මූල්‍ය ආධාර ඇතිව ඉදිකිරීමට නියමිත නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීමේ උත්සවය අද (2026.09.16) බුදාදා දින පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක, ගරු සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා ද එක්විය.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය, ඉන්දියානු රජයේ රුපියල් මිලියන 600 ක පරිත්‍යාග ආධාර යටතේ නිර්මාණය වන මෙම ඒකකය, හදිසි අවස්ථාවලදී අපගේ ජනතාවට කඩිනම් සහ සංකලනය වූ වෛද්‍ය සේවාවක් ලබා දීම සඳහා ඉතා වැදගත් වනු ඇත. මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්, මෙම වටිනා ආධාරය වෙනුවෙන් ඉන්දියානු ජනතාවට, ඉන්දියානු රජයට, ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මහතාට, මෙහි නියෝජනය වන ඉන්දියානු මහ කොමසාරිස්වරයා හරහා මාගේ හදපිරි ප්‍රසාදය පළ කර සිටිමි.

අතිගරු ජනාධිපතිතුමනි, පසුගිය වසර දෙකක කාලය තුළ ඔබතුමා රට මෙහෙයවන කාලසීමාව තුළ, උතුරු පළාතේ අවශ්‍යතා පිළිබඳව ජාතික මට්ටමින් ලැබෙන අවධානය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අපි අත්විඳිමු. දූෂණය පිටුදැකීම, මත්ද්‍රව්‍ය පිටුදැකීම ඇතුළු ඔබතුමා ඉදිරියට ගෙන යන ජාතික වැඩසටහන් පිටුපස අපගේ ජනතාව ද ශක්තිමත්ව එක්ව සිටිති. රටේ යහපත සහ එහි අනාගතය පූර්වගාමී කරගනිමින් ඔබතුමා ලබා දෙන නායකත්වය සැබවින්ම අප්‍රමාණ ය. එමෙන්ම, උතුරේ ජනතාව ද මෙම රටේ සෙසු ජනතාව හා සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් භුක්ති විඳිමින් ගෞරවනීය ජීවිතයක් ගත කළ යුතු ය යන අරමුණින්, අපගේ පළාත කෙරෙහි ඔබතුමා දක්වන විශේෂ අවධානයට අපි කෘතඥ පූර්වක වෙමු. විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන සහ සංවර්ධන පාර්ශවකරුවන් හමුවේ උතුරු පළාතේ සංවර්ධන අවශ්‍යතාවලට මුල්තැන දෙන ලෙස ඔබතුමා අඛණ්ඩව අවධාරණය කිරීම, අපගේ ජනතාව කෙරෙහි ඇති කැපවීම පිළිබඳ පැහැදිලි සාක්ෂියකි.
උතුර යනු රටේ කෙළවරක් ලෙස නොව, රටේ සමස්ත ප්‍රගතියේ වැදගත් කොටසක් ලෙස දැකිය යුතුය යන ඔබතුමාගේ ප්‍රවේශය, අද අප දකින මෙම වෙනසේ පදනම ලෙස මම දකිමි.

උතුරු පළාත් සභාවට ලැබෙන මුදල් වෙන්කිරීම් ද අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ අපට වෙන් කළ මුදලින් සියයට 99 ක්ම අපි සාර්ථකව භාවිත කර ඇත්තෙමු. ඊට ලැබුණු වැදගත් ඇගයීමක් ලෙස, උතුරු පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට විගණකාධිපතිවරයාගෙන් සුදුසුකම් ලත් මතයක් (Qualified Opinion) සාධනීය විගණන වාර්තාවක්) ලැබී ඇත. මෙය හුදෙක් පරිපාලනමය ප්‍රතිඵලයක් පමණක් නොවේ. මුදල් ලැබෙන්නේ නම් එය ජනතාවගේ අවශ්‍යතා බවට පත්කිරීමට සූදානම් පරිපාලනයක් උතුරේ පවතින බවට සාක්ෂියක් ලෙස ද මම මෙය දකිමි.

මන්නාරම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අවශ්‍යතාවලදී ද මෙම ප්‍රවේශය දක්නට ලැබේ. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු නලින්ද ජයතිස්ස මහතාගේ දායකත්වයෙන්, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ සංවර්ධනය වෙනුවෙන් අපි අඛණ්ඩව පියවර ගනිමින් සිටිමු.
මම සෘජුවම මෙම රෝහල නිරීක්ෂණය කර එහි පැවති අවශ්‍යතා වටහා ගැනීමෙන් අනතුරුව, ළමා වාට්ටුව සඳහා රුපියල් මිලියන 236 ක් සහ වෛද්‍යවරුන්ගේ නිල නිවාස සඳහා රුපියල් මිලියන 242 ක් වෙන් කිරීමට පියවර ගන්නා ලදී. 2026 වසරේදී මන්නාරම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 672 ක් වෙන්කර ඇත.

තවද, මන්නාරම දිස්ත්‍රික් රෝහලට අභ්‍යන්තර පුහුණුව සඳහා වෛද්‍යවරුන් අටදෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට මන්නාරම ජනතාව වෙනුවෙන් මාගේ විශේෂ ස්තුතිය පුදකර සිටිමි. මෙය මන්නාරම රෝහල අනාගතයේදී වඩාත් ශක්තිමත් වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි.

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වී ඇති CT ස්කෑනර් යන්ත්‍ර පහසුකම (CT Scanner) ද මන්නාරම ජනතාවට ලැබීමට නියමිතය. මේ සියල්ල එකතු වූ විට පූර්ණ සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය වේ. අපගේ අරමුණ ගොඩනැගිල්ලක් ඉදිකිරීම පමණක් නොවේ. මන්නාරමේ ජනතාවට තමන්ගේම දිස්ත්‍රික්කයෙන් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාගත හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි සියලු දෙනාම එක්ව අඛණ්ඩව කටයුතු කරමු. අද දින තබන ලද මෙම මුල්ගල තව නොබෝ දිනකින් නවීන වෛද්‍ය පද්ධතියක් ලෙස නැගී සිට අපගේ දහස් සංඛ්‍යාත ජනතාවගේ ජීවිතයටත් සෞඛ්‍යයටත් ආරක්ෂාවක් වේවා, යැයි ආණ්ඩුකාරතුමා පැවසීය.