උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වවුනියාව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරනු ලබන මාර්ග සහ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් මහතා 2026.09.15 අඟහරුවාදා නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙහිදී, නෙඩුන්කේණි – කූළාංකුලම් මාර්ගයේ කිලෝමීටර 1.86 සීමාවේ ඉදිකෙරෙමින් පවතින පාලම සහ බ්‍රාහ්මණාලංකුලම් – පරප්පුක්කඩන්තාන් මාර්ගයේ කිලෝමීටර 5.55 සීමාවේ මීටර් 200 ක් දිගැති කොන්ක්‍රීට් මාර්ගය සහ අතුරු මාර්ග පද්ධතිය (Causeway) ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණයට ලක් විය.
නෙඩුන්කේණි – කූළාංකුලම් මාර්ගයේ ඉදිකෙරෙන පාලම සඳහා රුපියල් මිලියන 65 ක මුදලක් ඇස්තමේන්තු කර ඇත. මීට අමතරව එම ප්‍රදේශයේ මාර්ගය පළල් කර ප්‍රතිසංස්කරණය කිරීමට ද නියමිතය. මෙම ව්‍යාපෘතිය ‘දිට්වා’ නැවත ගොඩනැගීමේ අරමුදල මගින් ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම, බ්‍රාහ්මණාලංකුලම් – පරප්පුක්කඩන්තාන් මාර්ගයේ කිලෝමීටර 5.55 සීමාවේ මීටර් 200 ක දිගින් යුත් කොන්ක්‍රීට් මාර්ගය සහ අතුරු මාර්ග පද්ධතිය ඉදිකිරීමේ කටයුතු රුපියල් මිලියන 40 ක පිරිවැයකින් සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අරමුදල (PSDG) මගින් ක්‍රියාත්මක වේ.
ස්ථාන දෙකම නිරීක්ෂණය කළ ආණ්ඩුකාරතුමා, සංවර්ධන කටයුතු ඉතා සාර්ථකව සහ කඩිනමින් සිදුකිරීම පිළිබඳව අවධානය යොමු කළ අතර, සේවකයින් දිරිමත් කරමින් ඔවුන්ගේ කැපවීම අගය කළේය. ජනතාවගේ යහපත උදෙසා මෙම වැඩකටයුතුවල ගුණාත්මකභාවය සහ නියමිත කාලරාමුව පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළහ.
වවුනියාව දිස්ත්‍රික් ජනතාවගේ ප්‍රවාහන පහසුකම් නැංවීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන මෙවැනි මාර්ග සහ පාලම් සංවර්ධන කටයුතු මගින් වර්ෂා කාලයේදී ඇතිවන ප්‍රවාහන අපහසුතා අවම වන අතර ප්‍රදේශ අතර සබඳතාව ද ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු කේ. කෞෂිකන් මහතා ඇතුළු අදාළ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවෝ ද එක්ව සිටියහ.





