යාපනය දිස්ත්‍රික්කයේ 2026 වසර සඳහා වන පළමු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්විණි.

යාපනය දිස්ත්‍රික්කයේ මෙම වසර සඳහා වන පළමු සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (2026.03.27) සිකුරාදා පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම රැස්වීමේ සභාපති ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කටයුතු කළ අතර, උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායගම් මහතා සම සභාපතිත්වය දැරීය.

යාපනය දිස්ත්‍රික් ලේකම් සහ සම්බන්ධීකරණ කමිටුවේ ලේකම් ම. ප්‍රදීපන් මහතාගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ වූ මෙම රැස්වීමේදී, දිස්ත්‍රික්කයේ සංවර්ධනය සහ වත්මන් අභියෝග පිළිබඳව වැදගත් කරුණු රැසක් සාකච්ඡා කෙරිණි.

මැදපෙරදිග කලාපීය ගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන බලපෑම් සැලකිල්ලට ගනිමින්, ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම යාපනය සහ කොළඹ අතර භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා අමතර ඉන්ධන දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

තවද, ධීවර හා කෘෂිකාර්මික කටයුතු සඳහා අදාළ සංවිධානවල ඉල්ලීම් මත ඉන්ධන ලබාදෙන බවත්, අනෙකුත් කර්මාන්තකරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉල්ලීම් ඉදිරිපත් කර ඉන්ධන ලබාගත හැකි බවත් මෙහිදී දැනුම් දෙන ලදී.

අලුතින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම මෙහිදී සිදු විය. තවද, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභාව සහ මධ්‍යම රජයේ දෙපාර්තමේන්තු මගින් මෙම වසරේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ඇගයීමට ලක් කෙරිණි. මීට අමතරව ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහන සහ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන්වල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු, බෝට්ටු සේවා සහ දූපත් ප්‍රදේශ සඳහා පානීය ජලය බෙදා හැරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. ‘සිසුසැරිය’ පාසල් ප්‍රවාහන සේවය, ‘නිසිසැරිය’ රාත්‍රී සේවය සහ කර්මාන්තශාලා සේවකයින් සඳහා වන ‘ගැමිසැරිය’ ප්‍රවාහන සේවාවන්හි වත්මන් තත්ත්වය පිළිබඳව ද කරුණු විමසා බලන ලදී.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් සභා සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී විසඳුම් ලබා නොදී දිස්ත්‍රික් කමිටුව වෙත යොමු කරන ලද කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තීරණ වලට එළඹුණි.

මෙම සාකච්ඡාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙ. රජීවන්, එස්. ශ්‍රීපවානන්දරාජා, සී. ශ්‍රීධරන්, උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රජයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.