යුද්ධයෙන් සියල්ල අහිමි වී පීඩාවට පත් ජනතාවගේ අධ්යාපන හා ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසර 17 පුරා අඛණ්ඩව සහාය ලබාදෙන ‘උදවුම් උරවුගල්’ සංවිධානයේ 17 වැනි සංවත්සර උත්සවය ඊයේ (18.10.2026) උරුත්තිරපුරම්හිදී පැවැත්විණි. එම උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා, සියලු දේට වඩා මානුෂීයත්වය වැදගත් බව අවධාරණය කළේය. එමෙන්ම, මෙවැනි සහායන් ලබාගෙන ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයන් අනාගතයේදී සහාය අවශ්ය අන් අයට ද අතදීමට ඉදිරිපත් විය යුතු බව ගරු ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
අභ්යන්තර අවතැන්වීම් සිදුවූ කාලසීමාවේදී තමන් කිළිනොච්චි දිස්ත්රික් ලේකම්වරයා ලෙස සේවය කළ බවත්, එම කාලයේදී ජනතාව මුහුණදුන් දුක්ඛිත තත්ත්වයන් සෘජුවම දැකගැනීමට හැකි වූ බවත් ගරු ආණ්ඩුකාරතුමා සඳහන් කළේය. එවැනි අතිශය අසීරු තත්ත්වයන් යටතේ වුවද, සිය පෞද්ගලික උත්සාහයෙන් විශ්වවිද්යාල සිසුන් ඇතුළු බොහෝ දෙනෙකුට අඛණ්ඩව සහාය ලබාදෙන එම සංවිධානයේ නිර්මාතෘ සුබ්රමනියම් වෙට්ට්රිවේල්නාදන් මහතාගේ සේවය ගරු ආණ්ඩුකාරතුමාගේ ඇගයීමට ලක්විය.
මුදල් පමණක් උතුම් නොවන බවත්, අන් අයට උපකාර කිරීමට ඇති යහපත් සිත සහ සදාචාරාත්මක ගුණධර්ම ජීවිතයේ ස්ථිර වටිනාකම් බවත් ගරු ආණ්ඩුකාරතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
සැබෑ හදවතින් සිදුකරන උපකාර බොහෝ ගුණයකින් නැවත ලැබෙන බව සඳහන් කළ ගරු ආණ්ඩුකාරතුමා, අදාළ සංවිධානයේ මානුෂීය සේවාවන් තවදුරටත් පුළුල් වී වැඩි පිරිසකට ප්රතිලාභ සැලසීමට හැකි වේවායි සිය සුබපැතුම් ද එක් කළේය.
මෙම අවස්ථාවට කිළිනොච්චි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සිවඥානම් ශ්රීතරන් මහතා ඇතුළු සමාජ නියෝජිතයන් සහ ප්රතිලාභීන් රැසක් සහභාගී වූහ.




