සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් ප්‍රධානී සහ ගරු ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් සහ විශ්වාසය ගොඩනැගීමේ විශේෂ ව්‍යාපෘතියක් වන ‘ලැන්ටර්න්’ (LANTERN – Land and Trust-building Engagement in the Regions of the North & East) වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්සෝ (Kristin Parco) මෙනෙවිය, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා වෙත දැනුම් දුන්නාය.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් ප්‍රධානී සහ ආණ්ඩුකාරවරයා අතර මෙම විශේෂ හමුව අද අඟහරුවාදා (10.03.2026) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී, මෑතකදී ඇති වූ ‘ඩිත්වා’ (Dithwa) ආපදාවෙන් පීඩාවට පත් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් සඳහා IOM ආයතනය මගින් ලබා දීමට නියමිත සහන ආධාර පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුවත් කරන ලදී.

ඔවුන් වෙත ලබා දීමට නියමිත ආධාර මොනවාද යන්න පිළිබඳව විස්තර කෙරුණු අතර, තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ද නිල වශයෙන් ආණ්ඩුකාරවරයා වෙත භාර දෙන ලදී.

මේ අතර, තමිල්නාඩුවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් අතරින් නැවත සිය මව්බිමට පැමිණීමට කැමැත්ත පළ කරන පිරිස් සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා මෙහිදී විශේෂ ඉල්ලීමක් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ IOM නියෝජිතයින්, UNDP ආයතනය සමඟ එක්ව ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත ‘ලැන්ටර්න්’ (LANTERN) ව්‍යාපෘතිය පිළිබඳව ආණ්ඩුකාරවරයාට පැහැදිලි කළහ. එමෙන්ම, මෙම නව ව්‍යාපෘතිය හරහා මෙලෙස දිවයිනට පැමිණෙන සරණාගතයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ හැකියාව පවතින බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම විශේෂ හමුව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එස්. සත්‍යසීලන් මහතා සහ IOM ආයතනයේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.