පළාත් පාලන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

පළාතේ පුරප්පාඩුව පවතින තාක්ෂණික කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත්, වත්මන් අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නව තාක්ෂණික තනතුරු ඇති කිරීමටත් අදාළ පාර්ශවයන් වෙත බලපෑම් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ඉල්ලා සිටියේය.

උතුරු පළාත් මුදල්, සැලසුම්, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් අද සඳුදා (2026.03.09) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ක. ඉලංගුමරන් මහතා ද සහභාගී විය.

සාකච්ඡාව ආරම්භයේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, පළාත් පාලන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු මුහුණ දෙන අභියෝග සහ ඒවායේ වත්මන් අවශ්‍යතා පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පළාතේ පවතින තාක්ෂණික කාර්ය මණ්ඩල පුරප්පාඩු ප්‍රධාන අභියෝගයක් බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී. පසුගිය කාලයට වඩා උතුරු පළාතට විශාල වශයෙන් ප්‍රතිපාදන ලැබෙන පසුබිමක, එම මුදල් නිසි ලෙස පරිහරණය කිරීමටත්, සංවර්ධන කටයුතු කාර්යක්ෂමව නිම කිරීමටත් ප්‍රමාණවත් තාක්ෂණික නිලධාරීන් සිටීමේ අවශ්‍යතාවය මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි.

එමෙන්ම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් වැදගත් කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දෙන ලදී.

තවද, අනෙකුත් පළාත්වලට වඩා උතුරු පළාතේ ඉඩම් අවශ්‍යතා බෙහෙවින් වෙනස් බව සාධාරණව පෙන්වා දුන් නිලධාරීන්, ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියහ.
අමාත්‍යාංශ ලේකම්වරයා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව අවධානය යොමු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ක. ඉලංගුමරන් මහතා, පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අදාළ අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීම්වලදී මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුවත් කර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංචාරක කාර්යාංශයේ අධ්‍යක්ෂවරුන්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.