ශෝක පණිවුඩය

දෙමළ ජාතික සංධානයේ ජ්‍යෙෂ්ඨ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 14 වැනි විපක්ෂ නායක මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන නීතීඥ රාජවරෝදයම් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වීම පිළිබඳව  මම  බලවත් කනගාටුවට පත් වෙමි.

දශක පහක පමණ දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම කාලයක් දෙමළ ජනතාවගේ නිවැරදි හඬ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝජනය කළ  දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තරයේ පවා පෙනී සිටි කෘතහස්ත දේශපාලනඥයකු ලෙස ආර් සම්බන්දන් මහතා හැදින්විය හැක.

ජාතීන් අතර සමගිය සහ සංහිඳියාව මුල්කරගෙන රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්  ඔහු කටයුතු කළ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.  එබඳු ජ්‍යෙෂ්ඨ නායකයකුගේ වියෝව දෙමළ ජනතාවට දේශපාලනික වශයෙන් පිරවිය නොහැකි හිඩැසක් ඇති කර ඇති බවට සැකයක් නැත.

දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් නැගුණු හඬ අද නිහඬය.  රාජවරෝදයම් සම්බන්ධන් මහතා නිවන්සුව ප්‍රාර්ථනා කරමි.  එතුමාගේ වියෝවෙන් ශෝකයට පත් වූ  පවුලේ ඥාතීන්ට, සහ අනෙකුත් සියලුම දෙනාට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

පී.එස්.එම්  චාල්ස්,
 ගරු ආණ්ඩුකාර
 උතුරු පළාත.