යාපනය නගරයේ නූතන වෙළඳ සංකීර්ණයේ (Modern Market Complex) පවතින අඩුපාඩු නියමිත කාලසීමාව තුළ යථා තත්ත්වයට පත්කරන ලෙසත්, දීර්ඝකාලීන පදනමින් එහි නූතන බහුකාර්ය වෙළඳ සංකීර්ණයක් (Mall) ඉදිකිරීමේ හැකියාව නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව පරීක්ෂා කර බලන ලෙසත් යාපනය මහා නගර සභාව වෙත උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන් . වේදනායගන් මහතා විසින් උපදෙස් ලබාදී ඇත. ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (09.11.2026) පැවැති නාගරික සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී මෙම මාර්ගෝපදේශ ලබා දෙන ලදී.
නගරයේ පිරිසිදුකම සහ අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි මහා නගර සභාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ප්‍රකාශ කළ ගරු ආණ්ඩුකාරතුමා, පරිසරයට කුණු රොඩු බැහැර කරන්නන් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. (CCTV) නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කරන ලෙසත්, කාණු පද්ධති නිරන්තරයෙන් පිරිසිදුව පවත්වා ගැනීමටත් උපදෙස් දුන්නේය. ඊට අමතරව, මධ්‍යම බස් නැවතුම්පොළ ආශ්රිත රජයේ ඉඩම්වල පවතින නීති විරෝධී වෙළඳසැල් ඉවත් කිරීමට පියවර ගැනීමට එකඟතාව පළවූ අතර, මහා නගර සභාවේ ආදායම් වර්ධනය කරගත හැකි නීත්‍යානුකූල ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු නියමිත කාලසීමාව තුළ ඉටුකරන ලෙස අවධාරණය කළ ගරු ආණ්ඩුකාරතුමා, ඒ සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම 2027 ජනවාරි මාසයේ දෙවන සතියේදී පවත්වන බව නිවේදනය කළේය.
මෙම සාකච්ඡාව සඳහා මහා නගර සභා නගරාධිපතිතුමා, නියෝජ්‍ය නගරාධිපතිතුමා, පළාත් පාලන කොමසාරිස්තුමා, යාපනය ප්‍රාදේශීය ලේකම්තුමා, නගර සංවර්ධන අධිකාරියේ සහ මාර්ග මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජිතයින් ඇතුළු ව්‍යාපාරික සංගම් නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.




