ආයෝජකයන්ට උතුරු පළාත තුළ සිය ආයෝජනයන් පහසුවෙන් සහ කඩිනමින් සිදු කිරීම සඳහා හඳුන්වා දී ඇති ඒකපුද්ගල ආයෝජන ද්වාරය (One-Stop Investment Portal) බලාපොරොත්තු වූ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ලබා දෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතුය. එහි ක්‍රියාත්මක කිරීමේදී පවතින අභියෝග සහ ප්‍රමාදයන් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම මෙන්ම, අදාළ නිලධාරීන්ගේ කුසලතා තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය පුහුණුවීම් ලබා දී මෙම යාන්ත්‍රණය බලගැන්විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා අවධාරණය කළේය.
උතුරු පළාතේ ආයෝජන සරල කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ඒකපුද්ගල ආයෝජන ද්වාරයේ ප්‍රගතිය, එහි ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග සහ ප්‍රමාදයන් නිරාකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (2026.08.27) බ්‍රහස්පතින්දා පස්වරුවේ යාපනය නගරයේ පිහිටි ජෙට්වින්ග් හෝටලයේදී පැවැත්විණි.
උතුරු පළාතේ ආයෝජකයන් මුහුණ දෙන දීර්ඝකාලීන පරිපාලන බාධාවන්ට විසඳුම් ලබා දීමේ පියවරක් ලෙස, ඉකුත් මැයි මාසයේ පැවැති ‘උතුරු ආයෝජන සමුළුව – 2026’ හි දූරදර්ශී අරමුණු පදනම් කරගනිමින් මෙම ඒකපුද්ගල ආයෝජන ද්වාරය නිල වශයෙන් ආරම්භ කරන ලදී. ආයෝජකයන් විවිධ දෙපාර්තමේන්තු වෙත වෙන් වෙන්ව ගොස් අනුමැතීන් ලබා ගැනීමට සිදුවන තත්ත්වය වළක්වා, එකම ස්ථානයක් හරහා අවශ්‍ය රාජ්‍ය සේවාවන් ලබා ගත හැකි වන පරිදි මෙම යාන්ත්‍රණය සකස් කර ඇත.
එදින පැවැති සාකච්ඡාවේදී, මෙම යාන්ත්‍රණයේ ක්‍රියාකාරී ප්‍රගතිය, ආයෝජන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන බාධාවන්, දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය සහ ආයෝජකයන්ට කඩිනම් සේවාවක් ලබා දීමට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, ආයෝජන අවස්ථා, අනුමැති ක්‍රමවේද සහ අදාළ රාජ්‍ය ආයතනයන්හි සේවාවන් පිළිබඳ තොරතුරු පැහැදිලිව හා පහසුවෙන් ආයෝජකයන් වෙත ළඟා වන පරිදි මෙම ද්වාරය තවදුරටත් ඵලදායී කිරීමේ ක්‍රමවේද පිළිබඳවද සාකච්ඡා විය.
කළමනාකරණ සංස්ථාව සහ වවුනියාව විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව මෙම ඒකපුද්ගල ආයෝජන ද්වාරය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මෙම සාකච්ඡාව සඳහා වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ. අට්පුදරාජා, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – ක්‍රමසම්පාදන, උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහෙහිම ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරුන් ඇතුළු උතුරු ආයෝජන සමුළුවේ ව්‍යාපෘති ප්‍රධානී ඉන්දිර කෞෂල් රාජපක්ෂ, කළමනාකරණ සංස්ථාවේ පාලන අංශයේ නියෝජ්‍ය සභාපති ශාන්ති පගීරදන් සහ කළමනාකරණ සංස්ථාවේ යාපනය ශාඛා සභාපති අනුරාගවන් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.



