පළාත් සභාව හරහා ගුරු පුරප්පාඩු පිරවීමේදී, දිස්ත්‍රික් මට්ටමින් පත්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතා පැවසීය.

මෙවර මධ්‍යම රජය හරහා ගුරු පුරප්පාඩු පිරවූවද, අනාගතයේදී පළාත් සභාව හරහා ගුරු පුරප්පාඩු පිරවීමේදී දිස්ත්‍රික් මට්ටමින් පත්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතා ප්‍රකාශ කළේය.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යයනාංශය සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය ඒකාබද්ධව සංවිධානය කරන ලද තෙවන ජාත්‍යන්තර අධ්‍යාපන සමුළුවේ ප්‍රධාන අංගයක් ලෙස, “උතුරු පළාතේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සාධන මට්ටම් ඉහළ නැංවීම පිළිබඳ බහුවිධ පාර්ශවකරුවන්ගේ සංවාදය” යන තේමාව යටතේ පැවැත්වුණු සමුළුව අද (18.07.2026) සෙනසුරාදා සවස යාපනය රාමනාදන් පාරේ පිහිටි කම්සියා මහල් (Kamsia Mahal) හිදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් විශේෂ දේශනයක් පැවැත්වූ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය:

“විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වන ව්‍යාපෘති උතුරු පළාත් සභාව විසින් දැනටමත් ආරම්භ කර ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨ සමඟ මුල් අවධියේදීත්, මෑතකදී කලා පීඨය සමඟත් සාකච්ඡා පවත්වා, ඔවුන් හරහා අපගේ සමාජ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳව අප සොයා බලා තිබෙනවා. අපගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහය වීම සඳහා විද්‍යා පීඨයේ නිලධාරීන්ද සාකච්ඡා පවත්වා තිබුණා. ඒලෙසම වවුනියාව විශ්වවිද්‍යාලය සමඟද අප එක්ව කටයුතු කරමින් සිටිනවා.

මෙම සාකච්ඡාවලදී පෙන්වා දුන් පරිදි, අප පළාතේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ගුරුවරුන් සම්බන්ධයෙන් අභියෝග රැසක් පවතිනවා. පළාත තුළ ගුරු සම්පත් බෙදා හැරීම නිසි පරිදි සිදු නොවන බවට චෝදනා එල්ල වුණා. එය නිවැරදි කිරීම සඳහා ඉතා දැඩි උපදෙස් ලබා දී තිබුණද, ප්‍රායෝගිකව එහි ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ ඉතා මන්දගාමී මට්ටමකයි.

උදාහරණයක් ලෙස, විදේශගත වීම සඳහා අවසර ඉල්ලා ගුරුවරයෙකු ඉදිරිපත් කළ අයදුම්පතක, ඔහු වෙනුවට ආදේශක විධිවිධාන මොනවාද යන්න පිළිබඳව මම සොයා බැලුවා. එහිදී විදුහල්පතිවරයා සඳහන් කර තිබූ කරුණ මා බෙහෙවින් කණගාටුවට පත් කළා. අදාළ ගුරුවරයා ‘අතිරික්ත ගුරුවරයෙකු’ බවත්, ඔහුට කාලසටහනක් ලබා දී නොමැති බවත් එහි සඳහன் වී තිබුණා. ඔහු උසස් පෙළ අංශයේ ප්‍රධාන විෂයක් උගන්වන ගුරුවරයෙක්. එවැනි කෙනෙකුට පාඩම් වාර (කාලච්ඡේද) ලබා නොදීම ඉතා අදූරදර්ශී පරිපාලන ක්‍රියාවක්. මේ පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමින්, සුදුසු පියවර ගන්නා ලෙස මම නියෝග කර තිබෙනවා.

ගුරු කාර්ය මණ්ඩලයට අදාළ තොරතුරු රැස් කළද, ඒවා නියමිත වේලාවට දත්ත පද්ධතියට ඇතුළත් නොකිරීම හෝ යාවත්කාලීන නොකිරීමේ තත්ත්වය තවදුරටත් පවතිනවා. මේ සියල්ල නිවැරදි කර වෙනස්කම් ඇති කිරීමට උත්සාහ කිරීමේදී අනිවාර්යයෙන්ම අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. අභියෝග පැමිණියද, ඒවාට මුහුණ දී ඉදිරියටම යාමට මම දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන සිටිනවා.

නායකත්වයේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී බොහෝ දෙනෙක් අවධාරණය කළා. මම එය සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. මම දිගින් දිගටම අවධාරණය කරන්නේද මෙයයි. පාසල් විදුහල්පතිවරුන්ට පමණක් නොව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටද හොඳ නායකත්වයක් අත්‍යවශ්‍ය වෙනවා.

මෑතකදී මම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලකට ගියා. එහිදී පාසල් නොගොස් වැවක නාමින් සිටි සිසුන් කිහිප දෙනෙකු ගමේ තරුණයින් දැක, විදුහල්පතිවරයාගේ සහය ඇතිව ඔවුන්ව නැවත පාසලට ඇතුළත් කර තිබුණා. විදුහල්පතිවරයාගේ යහපත් නායකත්වය සහ ගම්වැසියන්ගේ සමාජ වගකීම එකතු වූ විට, පාසල් හැර යාම වැනි අභියෝග පහසුවෙන් විසඳා ගත හැකියි.

උතුරු පළාතේ පාසල් මට්ටමේ අධ්‍යාපනයේ පවතින ප්‍රධාන ගැටලු පිළිබඳව සොයා බලන ‘අධ්‍යාපන දර්ශනයන්’ (Education Visions) සංසදයේ ක්‍රියාකාරකම් මාස 4කට වරක් සමාලෝචනය කිරීමට ප්‍රකාශ කළ අදහස මම පිළිගන්නවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සූදානම්,” යැයි ඔහු පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මාර්ගෝපදේශක කමිටුවේ සාමාජික සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කමිටු සාමාජික ආචාර්ය එස්. අරිවරසන් මහතා සමුළුවේ සභාපතිවරයා ලෙස සහභාගී වෙමින් සමාරම්භක දේශනය පැවැත්වීය. ‘අධ්‍යාපන දර්ශනයන්’ ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීමේ දේශනයෙන් අනතුරුව, අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමට අදාළ තේමාත්මක සැසි පැවැත්විණි:

මහාචාර්ය ඒ. නිත්තිලවර්ණන් (යාපනය විශ්වවිද්‍යාලය):උතුරු පළාතේ සාමාන්‍ය පෙළ සාධන මට්ටම් පහත වැටීමට බලපාන හේතු සාධක.

මහාචාර්ය එෆ්.එම්. නවාස්දීන් (ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය): විවිධ සිසුන්ගේ පසුබිමට ගැළපෙන පරිදි ජාතික කලා විෂය මාලාව අනුගත කිරීම.

මහාචාර්ය ටී. මුගුන්දන් (ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය):සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වැඩිදියුණු කිරීමේ අරමුණින් පාසල් මට්ටමේ ඇගයීම් ක්‍රමවේදයන් සමාලෝචනය කිරීම.

ආචාර්ය එස්. අදිරදන් (කොළඹ විශ්වවිද්‍යාලය):ගුරුවරුන්ගේ ඉගැන්වීම් කුසලතා වර්ධනය කිරීම තුළින් සාධන මට්ටම් ඉහළ නැංවිය හැකි ක්‍රමවේද.

ආර්. සර්වේස්වරා මහතා විසින් මෙහෙයවන ලද විවෘත සාකච්ඡා වටයේදී, උතුරු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂිකා ලාවණ්‍යා සුගන්දන් මහත්මිය “අභියෝගවලින් වෙනසක් කරා: උතුරු පළාතේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සාධන මට්ටම් සඳහා බලපාන හේතු සාධක” යන මාතෘකාව යටතේ ක්ෂේත්‍රයේ පවතින තත්ත්වයන් පැහැදිලි කළාය. වැඩසටහන අවසානයේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. පැට්‍රික් ඩිරන්ජන් මහතා විසින් සමාප්ති දේශනය පවත්වන ලදී.