කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල නව කර්මාන්තපුර පිහිටුවීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා කළ ඉල්ලීම පිළිගනිමින්, ඒ සඳහා සුදුසු ඉඩම් වහාම හඳුනා ගන්නා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභයසිංහ මහතා ඉල්ලා සිටියේය.
යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (2026.07.17) සිකුරාදා රාත්‍රියේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළේය. මෙම රැස්වීමේදී ඉහත එකඟතාව ප්‍රකාශ විය.
රැස්වීම අතරතුර, උතුරු පළාතේ ආයෝජන කලාප තුනක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දරන උත්සාහයන් කඩිනම් කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර වශයෙන්, මේ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා ගරු ආණ්ඩුකාරතුමාට පැහැදිලි කළේය. මීට අමතරව, කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අච්චුවේලි කාර්මික වතුයායේ භාවිතයට නොගත් ඉඩම් නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලීම් ද ඉදිරිපත් කළේය. මේ සඳහා ඉදිරි අයවැයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සුදුසු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
යාපනය දිස්ත්‍රික්කයේ අච්චුවේලි කාර්මක ස්ථානය ක්‍රියාත්මක වන ආකාරයටම, උතුරු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවල එවැනි කර්මාන්ත ෙපාළ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ගරු ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය. මෙය කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා සිදු කළ හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, පළාත් පරිපාලනය විසින් සුදුසු ඉඩම් ලබා දෙන්නේ නම්, සැලැස්ම ස්ථිරව ක්‍රියාත්මක කළ හැකි බව ද පැවසීය.
තවද, රජය විසින් හඳුන්වා දී ඇති ණය යෝජනා ක්‍රම ලබා ගැනීමේදී වන්නි කලාපයේ ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා ගරු ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය. විශේෂයෙන්, ඉඩම් හිමිකම් නොමැතිකම හේතුවෙන් බැංකු ණය ලබා ගැනීමේදී ඔවුන් මුහුණ දෙන බාධක පිළිබඳව ආණ්ඩුකාරවරයා පැහැදිලි කළේය. අදාළ බැංකු සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර මේ සඳහා විශේෂ යාන්ත්‍රණයක් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමට සහාය වන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.
ඊට අමතරව, බලපත්‍ර ලබා ගැනීමේදී ආයෝජකයින් මුහුණ දෙන ප්‍රමාදයන් ද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. එවැනි ගැටළු වලට තනි තනිව ප්‍රවේශ වී ආයෝජකයින් සඳහා විසඳුම් ලබා දීමට තමන් සූදානම් බවත් ඒ සඳහා කටයුතු සම්පාදනය කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම වැදගත් රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. ඉලංගුමාරන්, ආණ්ඩුකාර ලේකම් සහ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් යන මහත්වරුන් ද සහභාගී වීම විශේෂත්වයකි.



