“අලුතින් අනුමැතිය ලබා දීමෙන් පසුව පළාත් සභා අතරින් සෞඛ්‍ය සේවා සහායකයින් සඳහා මුලින්ම පත්වීම් ලබා දුන්නේ උතුරු පළාත් සභාවයි” – ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නව අනුමැතිය ලබා දීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පළාත් සභා අතරින් සෞඛ්‍ය සේවා සහායකයින් සඳහා මුලින්ම පත්වීම් ලබා දුන්නේ උතුරු පළාත් සභාවයි. මේ වෙනුවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා , ප්‍රධාන ලේකම්තුමිය , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු සැමට ස්තූතිවන්ත වෙමින් අගය කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහායකයින් 350 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය 2026.09.18 සිකුරාදා සවස යාපනය දිව්‍ය මහල් හිදී උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී. ජෙයරාණි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවයේදී අමුත්තන් පිළිගෙන මංගල පහන දැල්වීමෙන් අනතුරුව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රී භවානන්දරාජා මහතාගේ විශේෂ කතාවෙන් පසුව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා අදහස් දැක්වීය.

දීර්ඝ කාලයකට පසුව, නව රජය පිහිටුවීමත් සමඟ ඊට අනුගාමිකව අවශ්‍ය අනුමැතීන් පියවරෙන් පියවර ලබා ගැනීම හරහා මෙවැනි බඳවා ගැනීම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණු බව ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව හරහා අවශ්‍ය අනුමැතීන් ලබා දීම පිළිබඳවද ස්තූතිය පුද කළේය.

මෙවර අභිලාෂකාමීන් දහස් ගණනකගෙන් අයදුම්පත් ලැබී තිබූ අතර, ඒ අතරින් 3,550 ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා, ව්‍යුහගත ක්‍රමවේදයකට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව 300 දෙනෙකු පළාත් සෞඛ්‍ය සේවය සඳහා තෝරාගත් බව ආණ්ඩුකාරවරයා පැවසීය. පසුගිය කාලවලදී රාජ්‍ය පත්වීම් සම්බන්ධයෙන් විවිධ මැදිහත්වීම් සහ ප්‍රශ්න මතුව තිබූ පසුබිමක, ඒවායින් පාඩම් ඉගෙන ගනිමින් මෙවර පත්වීම් ක්‍රියාවලිය විනිවිදභාවයකින් සහ සාධාරණ ලෙස ඉදිරියට ගෙන ගිය බවද ඒ මහතා සඳහන් කළේය.

අද ලබා දෙන පත්වීම් ලිපිය රක්ෂාවක් සඳහා වන ලිපියක් පමණක් නොවන බව ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා, එය දහස් සංඛ්‍යාත ජනතාවක් අතරින් ලැබුණු වගකීමක් ලෙස දැකිය යුතු බව ඉල්ලා සිටියේය. උතුරු පළාතේ රෝහල් රැසක පවතින සේවක පුරප්පාඩු පියවීම සඳහා නව පත්වීම්ලාභීන්ගේ සේවය තීරණාත්මක වනු ඇති බවද පැවසීය.
වේලාවට සේවයට වාර්තා කිරීම, රෝගීන්ට ගෞරවාන්විතව සැලකීම, වෛද්‍යවරුන්, හෙදියන් සහ සසුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීම ඇතුළු කරුණු සේවයේ ප්‍රධාන වගකීම් වන බවද ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

තවද, මෙම බඳවා ගැනීම් ක්‍රියාත්මක කිරීමට සහාය වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ නිලධාරීන් සියලු දෙනාට ස්තූතිය පුද කළ ආණ්ඩුකාරවරයා, නව පත්වීම් උතුරු පළාත් සෞඛ්‍ය සේවයට ලැබුණු අලුත් මිනිස් බල සහයක් වේවායි සුබ පැතුම් ද එක් කළේය.

උතුරු පළාත් සභාව මගින් සම්මුඛ පරීක්ෂණ හරහා 300 දෙනෙකුටත්, මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් යාපනය ශික්ෂණ රෝහල සඳහා 50 දෙනෙකුටත් අද දින පත්වීම් පිරිනමන ලදී.

මෙම උත්සවය සඳහා ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රී භවානන්දරාජා, එම්. ජගදීශ්වරන්, එස්. තිලගනාදන් යන මහත්වරු විශේෂ ආරාධිතයන් ලෙස එක්වූහ. උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මුදල්, පරිපාලන හා ඉංජිනේරු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, මධ්‍යම සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් මහ රෝහල්වල අධ්‍යක්ෂවරුන් සහ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයාගේ සම්බන්ධීකාරක ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.