උතුරු පළාතේ සංවර්ධන කටයුතු සමගියෙන් ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවයේම එකඟතාව; නොසිතූ අප්‍රසන්න සිදුවීම් නැවත සිදු නොවිය යුතුයි – ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි

උතුරු පළාතේ සංවර්ධන කටයුතු සියලු පාර්ශවයන් එක්ව, සමගියෙන් සහ වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යා යුතු බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා කළ ඉල්ලීමට, පළාතේ විධායක නිලධාරීන් සහ උතුරු පළාත් රාජ්‍ය සේවා උපාධිධාරී නිලධාරීන්ගේ සංගමය එකඟතාව පළ කළහ.

උතුරු පළාත් සංවර්ධන නිලධාරීන් නියෝජනය කරන උතුරු පළාත් රාජ්‍ය සේවා උපාධිධාරී නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (2026.08.19) බදාදා පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සංවර්ධන නිලධාරීන්ගේ ගෞරවයට සහ වෘත්තීය අයිතිවාසිකම්වලට හානි වී ඇති බව පවසමින් පසුගිය සඳුදා (2026.08.17) ක්‍රියාත්මක කරන ලද විරෝධතාවයෙන් පසුව, වර්තමාන තත්ත්වය සහ සංවර්ධන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගන්නා ලදී.

උතුරු පළාතේ සංවර්ධන කටයුතුවලට බාධාවක් නොවන අයුරින්, සියලු පාර්ශවයන් එකිනෙකා කෙරෙහි සහයෝගයෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු සියලු පාර්ශවයන්ගේ ගෞරවය සහ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කමද මෙම සාකච්ඡාවේදී පෙන්වා දෙන ලදී.

තවද, මෑත කාලයේ ඇති වූ නොසිතූ අප්‍රසන්න සිදුවීම් නැවත ඇති නොවන පරිදි, යම් ගැටලු හෝ මතභේද පැනනගින්නේ නම් ඒවා සුදුසු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය. “මෙවැනි අප්‍රසන්න සිදුවීම් අනාගතයේදී සිදු නොවන පරිදි දෙපාර්ශවයම කැපවීමෙන් කටයුතු කළ යුතුයි” යනුවෙන් ඔහු අවධාරණය කළ අතර, සාකච්ඡාවට එක්වූ දෙපාර්ශවයම එය පිළිගත්හ.

මහජන සුභසාධනය සහ පළාතේ සංවර්ධන ප්‍රගතිය පෙරදැරි කරගනිමින්, මතභේදයන්ගෙන් ඔබ්බට ගොස් එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා සියලු පාර්ශවයන් සහයෝගය දැක්විය යුතු බවත් ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටි අතර, ඊට සහභාගී වූ සියලු දෙනාම සිය එකඟතාව පළ කළහ.

මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන), අධ්‍යාපන, පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු උතුරු පළාත් රාජ්‍ය සේවා උපාධිධාරී නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පස්දෙනෙකු සහභාගී වූහ.