උතුරු පළාත් සෞඛ්‍ය සේවා සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාව ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි

උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහා මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීම ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා රැසක් සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ඉදිරිපත් කළ ඉල්ලීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිගෙන ඇත.
අනෙකුත් පළාත්වලට වඩා වෙනස්ව උතුරු පළාතේ දිස්ත්‍රික් මහ රෝහල් පළාත් සභාව යටතේ පවත්වාගෙන යන බැවින්, එම විශේෂ තත්ත්වය සැලකිල්ලට ගෙන මුදල් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සහතික විය.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා සංවර්ධනය පිළිබඳ මෙම විශේෂ ඉහළ මට්ටමේ සාකච්ඡාව 2026 ජූනි 27 වන දින සෙනසුරාදා සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ගරු අමාත්‍ය ඉ. චන්ද්‍රසේකර් මහතා සහ ගරු ආණ්ඩුකාරතුමා එන් වේදනායකන් මහතාගේ සම සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.
උතුරු පළාත් සභාව රෝහල් 117ක් පාලනය කරයි. අනෙකුත් පළාත්වල දිස්ත්‍රික් මහ රෝහල් මධ්‍යම රජය යටතේ පාලනය වන නමුත්, උතුරේ ඒවා පළාත් සභාව විසින් පාලනය කිරීම නිසා විශාල මූල්‍ය බරක් ඇති වී තිබේ. එබැවින් අනෙකුත් දිස්ත්‍රික් මහ රෝහල් සඳහා මධ්‍යම රජය වැය කරන මුදලට සමාන මට්ටමේ ප්‍රතිපාදන උතුරු පළාතටද ලබාදිය යුතු බව ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටියේය.
තවද, නඩත්තු හා ප්‍රාග්ධන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් මධ්‍යම රජය මඟින් බහු වාර්ෂික ප්‍රාග්ධන ආයෝජන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
කිලිනොච්චිය විශේෂ කාන්තා රෝහල සඳහා අනුමත කළ නව තනතුරු 58 අතරින් මධ්‍යම රජයට අයත් පුරප්පාඩු 45ක් වහාම පිරවිය යුතු බව ද ඉල්ලා සිටියේය.
උතුරු හා නැගෙනහිර පළාත් වෙන්වීමෙන් පසු උතුරු පළාතේ රැකියා 1,500කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇත. ප්‍රාදේශීය රෝහල් 55 අතරින් රෝහල් 34ක් හෙදියන් නොමැතිව පවත්වාගෙන යනු ලබයි. වසර 11ක් තිස්සේ පුරප්පාඩුව පවතින මූලික කාර්ය මණ්ඩල තනතුරු සහ ඖෂධවේදීන් ලෙස උසස් කළ යුතු බෙදාහැරීමේ නිලධාරීන්ගේ පුරප්පාඩු ද වහාම පිරවිය යුතු බව ඉල්ලා සිටියේය.
මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල විශේෂඥ වෛද්‍ය පුරප්පාඩු සඳහා තාවකාලික අනුයුක්ත කිරීම් වෙනුවට ස්ථිර පත්වීම් ලබාදිය යුතු බව ද, අනිවාර්ය සේවා කාලයෙන් පසු හෙදියන් උතුරෙන් පිටවීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ අවම සේවා කාලය දීර්ඝ කළ යුතු බව ද යෝජනා කරන ලදී.
වවුනියාව රෝහලේ දැනට පවතින CT ස්කෑනර් යන්ත්‍රය ප්‍රතිස්ථාපනය කිරීමත්, මන්නාරම රෝහලට නව CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීමත් අවශ්‍ය බව සඳහන් විය. තෙලිප්පලෙයි විකිරණ ඒකකය සහ සෙට්ටිකුලම් වකුගඩු රෝග මධ්‍යස්ථානය වැනි නවතා දමා ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා කඩිනම් මුදල් ප්‍රතිපාදන අවශ්‍ය බවත්, අබලන් වී ඇති ගිලන් රථ ද ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් අවධාරණය කෙරිණි.
යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේ ඉලක්කය යටතේ එහි යටිතල පහසුකම් හා කාර්ය මණ්ඩලය සංවර්ධනය කළ යුතු බවත්, තෙලිප්පලෙයි රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් බවට උසස් කළ යුතු බවත්, සංගානෙයි, සිලාවතුර, කෝපායි සහ චාවකච්චේරි රෝහල් උසස් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවත් යෝජනා විය.
උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශය සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වෙන් කරන මුදල් පළාත් සභාවට ලබාදෙන්නේ නම් එම වැඩසටහන තවත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යා හැකි බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.
අමාත්‍යවරයාගේ ප්‍රතිචාර ගරු
ආණ්ඩුකාරතුමා ඉදිරිපත් කළ සෑම කරුණකටම සෞඛ්‍ය අමාත්‍යවරයා ධනාත්මක ප්‍රතිචාර දැක්වීය.
• උතුරු පළාතේ විශේෂ පරිපාලන වගකීම සැලකිල්ලට ගෙන මුදල් කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමට සහ නඩත්තු වියදම් සඳහා වැඩි මුදල් වෙන් කිරීමට කටයුතු කරන බව පැවසීය.
• මන්නාරම රෝහල සඳහා CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, ඉන් අනතුරුව වවුනියාව රෝහලට ද එවැනි යන්ත්‍රයක් ලබාදෙන බව සඳහන් කළේය.
• රෝහල් උසස් කිරීමට පෙර ඒවායේ දැනට පවතින මට්ටමට අදාළ කාර්ය මණ්ඩලය සහ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම වඩාත් සුදුසු බවත්, තෙලිප්පලෙයි රෝහල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ කමිටුවක් පත් කර සොයා බලන බවත් පැවසීය.
• හැකි පමණින් හෙද පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත්, එහෙත් හෙද පාඨමාලා සඳහා දෙමළ සිසුන්ගේ අයදුම්පත් සංඛ්‍යාව අඩු බැවින් ඒ පිළිබඳව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම අවශ්‍ය බවත් අවධාරණය කළේය.
• ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ මන්නාරම රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමේ කටයුතු ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බවත්, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ව්‍යාපෘති සැලසුම් කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් සඳහන් කළේය.
එසේම, රටේ අනෙකුත් ප්‍රදේශ සමඟ සසඳන විට උතුරු පළාතේ ඩෙංගු රෝග ව්‍යාප්තිය අඩු මට්ටමක පවතින බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා අනුගමනය කරන සාර්ථක ක්‍රමවේද පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
තවද, කිලිනොච්චිය මහ රෝහලේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන කෘත්‍රිම සංසේචන (IVF) සේවාව සාර්ථකව ආරම්භ කර ඇති බව ගරුු ආණ්ඩුකාරතුමා විශේෂයෙන් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීභවානන්දරාසා මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.