“බොහෝ ස්ථානවල රජයේ මුදල් යොදා ඉදිකර ඇති ගොඩනැගිලි භාවිතයට නොගෙන පවතී. නව ගොඩනැගිලි ඉදිකිරීමෙන් වැළකී, භාවිතයට නොගෙන ඇති ගොඩනැගිලි නවීකරණය කර භාවිතයට ගන්න” – උතුරු පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දේ.

රජයේ ව්‍යාපෘති ජනතාව වෙත සාර්ථකව ළඟා වීමට නම් නිසි ප්‍රතිලාභීන් තෝරාගැනීම අත්‍යවශ්‍ය බව උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නා. වේදනායකන් මහතා අවධාරණය කළේය. ඒ අනුව, ප්‍රදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ සාකච්ඡා කර, ඔවුන් සමඟ එක්ව සැබෑ ප්‍රතිලාභීන් තෝරාගන්නා ලෙසද ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමඟින් පමණක් මෙම ව්‍යාපෘතිවල අරමුණු සම්පූර්ණ ලෙස ඉටු කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපනය, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම, කර්මාන්ත හා ව්‍යාපාරික සංවර්ධන සහ වෙළඳ වාණිජ අමාත්‍යාංශයට අදාළ 2026 වර්ෂය සඳහා වූ ව්‍යාපෘති යෝජනා සමාලෝචනය කිරීම සඳහා වූ විශේෂ උසස් මට්ටමේ රැස්වීමක් අද (23.12.2025) අඟහරුවාදා සවස ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. ආණ්ඩුකාරවරයා රැස්වීමේ මුලසුන හොබවමින් ඉහත ප්‍රකාශය කළේය.

2026 වර්ෂය සඳහා වූ ව්‍යාපෘති එකින් එක සමාලෝචනය කරන විට, නව ගොඩනැගිලි ඉදිකිරීම සහ නව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍ය ඉල්ලා තිබෙන බව අවධානයට ලක්විය. මෙය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට පැහැදිලි උපදෙස් ලබා දුන්නේය.

දැනටමත් බොහෝ ස්ථානවල රජයේ මුදල් යොදා ඉදිකර ඇති ගොඩනැගිලි භාවිතයට නොගෙන පවතින බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, නව ගොඩනැගිලි ඉදිකිරීමට මුදල් වැය කිරීමෙන් වැළකී, භාවිතයට නොගෙන ඇති එම ගොඩනැගිලි නවීකරණය කර භාවිතයට ගන්නා ලෙස උපදෙස් දුන්නේය. එසේම, පසුගිය කාලයේ මිලදී ගෙන භාවිතයට නොගෙන අක්‍රියව පවතින යන්ත්‍රෝපකරණ විකල්ප ලෙස භාවිතයට ගන්නා පියවර ගන්නා ලෙසද ඔහු දැනුම් දුන්නේය.

මෙම රැස්වීමේදී පළාත් සංවර්ධන ප්‍රදානය යටතේ 2026 වර්ෂය සඳහා අංශ අනුව සැලසුම් කර ඇති මූල්‍ය වෙන්කිරීම් පිළිබඳව විස්තරාත්මකව සමාලෝචනය කරන ලදී:

සමාජ සේවා දෙපාර්තමේන්තුව: රු. මිලියන 226

කර්මාන්ත දෙපාර්තමේන්තුව: රු. මිලියන 151

සමුපකාර දෙපාර්තමේන්තුව: රු. මිලියන 23

මෙම වෙන්කිරීම් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද මෙම අවස්ථාවේදී විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට ආණ්ඩුකාර ලේකම්, කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් (මුදල් හා සැලසුම්), සමුපකාර සංවර්ධන කොමසාරිස්, අංශ අධ්‍යක්ෂවරුන් සහ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරුන් මෙම රැස්වීමට සහභාගී වූහ.