ඩිජිටල් තාක්ෂණයට යාපනය මහජන පුස්තකාලය සම්බන්ධ කරන උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී

යාපනය මහජන පුස්තකාලය සංවර්ධනය කිරීම සඳහා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැයෙන් රුපියල් මිලියන 100 ක විශේෂ ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. එහි උත්සවාකාර සමාරම්භක උත්සවය අද සඳුදා (2025.09.01) පස්වරුවේ යාපනය මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සහභාගී වූ ගරු ජනාධිපතිතුමා ඇතුළු පිරිස උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් සහ යාපනය මහ නගර සභාවේ ගරු නගරාධිපතිනි මතිවදනී විවේකානන්දරාජා මහත්මිය විසින් පිළිගනු ලැබීය. ඉන්පසු මංගල පහන දල්වන ලදී. උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය පිළිගැනීමේ කතාව පැවැත්වීය. අනතුරුව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් කතාවක් පවත්වන ලදී.

පසුව, යාපනය මහජන පුස්තකාලයේ නිල වෙබ් අඩවිය දියත් කරන ලද අතර ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලදී. මෙය සම්බන්ධීකරණය කරන ලද්දේ යාපනය මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපති විසිනි.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීපවනන්දරාජා, සී.ව්.කේ. සිවඥානම්, ජේ. රජීවන්, උතුරු පළාත් සභා කථානායක සී.වී.කේ. සිවනනම්, ගරු නගර සභා මන්ත්‍රීවරුන්, උතුරු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී විය.