උතුරු පළාත් බොදු සමුළුව වවුනියාවේ දී පැවැත්වීමට නියමිතයි.

උතුරු පළාත් බොදු සමුළුව 2019 මාර්තු 29 වන දින වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේවන විටත් සූදානම් කර අවසන් වී ඇත.
උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමල සාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ හා උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බොදු සමුළුව හෙට සිදුකිරීමට නියමිතයි.
ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලබන උතුරු පළාත් බොදු සමුළුව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් මත සිදුකරනු ලබන අතර උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ, ප්‍රදේශයේ දේශපාලන නායකයින්ගේ, ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සිදුකරනු ලබයි
වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී උදෑසන 8.15ට ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව විවිධ සංස්කෘතික අංගයන් ගෙන් සමන් විත වන පෙරහැරකින් ස්වාමින් වහන්සේලා ප්‍රධාන ශාලාව වෙත වැඩම කරවා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින්ගේද ආශිර්වාදය ලබාදී මෙම උතුරු පළාත් බොදු සමුළුව ආරම්භ කිරීමට නියමිතයි.
පස්වරුවේදී, උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග, අදහස් හා යෝජනා සාකච්ඡා කරනු ලබන අතර උතුරු පළාතේ පවත්වන මෙම බොදු සමුළුව තුළින් ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී සියලූ දෙනාට සුභවාදී පණිවිඩයක් ලබාදීම අපේක්ෂාව වෙයි. එමෙන්ම මෙහිදී යුද්ධයෙන් මියගිය සියලූම ජනතාව සිහිකර පිං පැමිණ වීම ද මෙහිදී සිදුකරනු ලබයි.
මෙම උතුම් කර්තව්‍යය ලෝකවාසී ජනතාව වෙත ළගා කරවීම සඳහා මේ වන විටත් සියලූම මාධ්‍ය ආයතන නියෝජිතයින් වවුනියාව නගරය වෙත පැමිණ සිටිති.