
උතුරු පළාතේ පාසල් සිසුන් අතර බයිබල් බෙදාදීමට අදාළව පසුගිය දිනවල ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් සහ අවධානයට ලක්වූ කරුණු සැලකිල්ලට ගනිමින්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා මේ පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කර ඇත.
මේ සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වයි. ජෙයචන්ද්‍රන් මහතා වෙත ආණ්ඩුකාරවරයා විසින් පැහැදිලි උපදෙස් ලබා දී තිබේ.
විදේශීය ස්වේච්ඡා සංවිධානයක් විසින් පාසල් සිසුන්ට බයිබල් ලබාදීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මුලින් නිකුත් කරන ලද අනුමැති ලිපිය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් කරුණු පෙන්වා දී තිබුණි. අදාළ සංවිධානය තමන්ට අයත් ක්‍රිස්තියානි සිසුන්ට පමණක් මේවා ලබාදීමට අවසර ඉල්ලා තිබුණද, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුල් ලිපියේ සඳහන් වචන හේතුවෙන් එය සියලුම සිසුන්ට බෙදා දීමට යන බවට වටහා ගැනීම නිසා මෙම මතභේදය පැනනැගුණි.
අනතුරුව, මෙම බෙදාදීම රෝමානු කතෝලික නොවන ක්‍රිස්තියානි සිසුන්ට පමණක් බව පළාත් අතිරේක අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් සංශෝධිත ලිපියක් මගින් පසුව පැහැදිලි කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් මතභේද දිගින් දිගටම පවතින බැවින්, පාසල් පද්ධතිය තුළ ආගමික සහජීවනය පවත්වා ගැනීම සහ අනවශ්‍ය ව්‍යාකූලතා මගහරවා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, ඒ සඳහා නිසි නීති රීති ක්‍රියාත්මක කරන ලෙස පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.
ඒ අනුව, පාසල් තුළට බාහිර පුද්ගලයින් හෝ සංවිධාන සෘජුවම ගොස් ආගමික ග්රන්ථ බෙදාදීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැළැක්විය යුතු බවට ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.
ඉහත සඳහන් කළ බයිබල් බෙදා දීමට අපේක්ෂා කරන අදාළ ආයතනය, ඒවා උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාර දිය යුතුය.
එසේ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලබන ග්රන්ථ, ක්‍රිස්තියානි විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ, එම ග්රන්ථ අවශ්‍ය වන සහ එම විෂය හදාරන සිසුන්ට පමණක් ලබා දීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයා ස්ථිරවම ප්‍රකාශ කර ඇත.
මෙම විධිමත් පරිපාලන ක්‍රියාවලිය හරහා පාසල් තුළ සියලුම ආගමික සිසුන් අතර සහජීවනය ආරක්ෂා වන අතරම, අනවශ්‍ය ගැටුම් මගහරවා ගත හැකි වනු ඇතැයි ආණ්ඩුකාරවරයා විශ්වාසය පළ කරයි.
