උතුරු පලාතේ ස්ථීර නිවාස අහිමි අඩුආදායම්ලාබී පවුල් සඳහා ස්ථීර නිවාස 25,000 ක් ඉදිකර එම ජනතාව වෙත ලබාදී උතුරු පලාතේ නිවාස ගැටලු විසඳීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි.
ඒ අනුව වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි අඩු ආදායම්ලාබී ස්ථීර නිවාස අහිමි පවුල් හඳුනාගෙන නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබීය.
විශේෂයෙන් ස්ථීර නිවාස සැකසීමේ වැඩසටහනේදී යටිතල පහසුකම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට ජනතාව පදිංචියට සුදුසු ස්ථාන හඳුනාගැනීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙසත් ඒ සඳහා සැලසුම් සකස්කර ගරු ආණ්ඩුකාර තුමියට භාරදීමට පියවර ගන්නා ලෙසටද උපදෙස් දෙනු ලැබීය.
ස්ථීර නිවසක් ඉදිකිරීම සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැයකිරීමට අපෙක්ෂිත අතර අවශ්‍ය සෙසු පහසුකම් සැපයීමටද අපෙක්ෂා කෙරෙයි. විදුලි බලය සූර්ය තාපබලයෙන් ලබාගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුකලයුතු බවද උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි.
මෙම නිවාස සඳහා ප්‍රතිලාබීන් තෝරාගැනීමේදී වඩාත්ම සුදුසුම පිරිස් තෝරාගන්නා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී 22 පැවති නිවාස ව්‍යාපෘතිය පිලිබඳව පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය.
මීට ඉහතදී උතුරු පලාතේ ක්‍රියාත්මක වූ ඇතැම් නිවාස ව්‍යාපෘති අවසාන අදියර දක්වා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. ඒ අනුව පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නිවාස ව්‍යාපෘති අතරින් නිවාස 6000 ක් පමණ ස්ථීර නිවාස අර්ධ වශයෙන් නිමා කර ප්‍රතිලාබීන් වෙත ලබාදිය නොහැකි විය.
එවැනි අසාර්ථක නිවාස ව්‍යාපෘති වෙනුවට මෙම නිවාස 25,000 ව්‍යාපෘතිය සකස් කිරීමේදී ඉතාම සැලසුම් සහගතව වැඩ අවසන්වනතෙක් නිලධාරීන් කටයුතු කලයුතු බවට මෙම සාකච්ඡාවේදී ආණ්ඩුකාර තුමිය උපදෙස් දෙනු ලැබීය.
මේ සඳහා දිස්ත්‍රීක් ලේකම් වරුන් , ප්‍රාදේශීය ලේකම් වරුන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබාදෙනු ලබයි.
නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රීක් කලමනාකරුවන් සෑම දිස්ත්‍රීක්කයකම පසුගිය කාලයේදී සිදුකරන ලද ඇතැම් නිවාස ව්‍යාපෘති අසාර්ථක වීමට හේතු ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානයට යොමුකල අතර එහිදී එතුමිය ප්‍රකාශ කලේ මෙම නිවාස 25,000 ක්‍රියාත්මක කිරීමේදී ගරු ජනාධිපතිතුමාගෙත් කැබිනට් මණ්ඩලයේත් අරමුණු ඉලක්ක සපුරාගත හැකි අයුරින් නිවාස සැලසුම් සකස් කරන ලෙසටයි.
මෙම නිවාස ව්‍යාපෘතිය වසර 3 ක් ඇතුලත අවසන් කිරීමට අපෙක්ෂා කෙරෙන අතර උතුරු පලාතේ දිස්ත්‍රීක්ක 5 ම ආවරනය වන පරිදි නිවාස 25,000 ඉදිකර ප්රතිලාබීන්ට ලබාදීමෙන් පසුව උතුරු පලාතේ බොහෝ ස්ථීර නිවාස ගැටලු විසඳී යාමට බොහෝ පිටුවහලක් වනු ඇත. එහදී නැවත පදිංචිකල ප්‍රදේශවල අඩුආදායම්ලාබී පවුල් කෙරෙහි වැඩිඅවධානයක් යොමුකිරීමට අපෙක්ෂිතයි. එසේම පසුගිය කාලයේ නිවාස අර්ධ වශයෙන් ඉදිකර අතහැරදමා තිබූ නිවාස මෙම ව්‍යාපෘතිය යටතේ වැඩ නිමා කිරීමට ඇති හැකියාව පිළිබඳවද වහාම සොයාබලන ලෙසටද ආණ්ඩුකාරතුමිය උපදෙස් දෙනු ලැබීය.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නිවාස වැඩසටහන උතුරු පලාතට ලබාදී තිබෙන්නේ ස්ථීර නිවසක හිමිකම නොමැතිව දුෂ්කරතා මැද ජීවත්වන ජනතාවගේ ගැටලු විසඳීමටත් එම ඔවුන්ගේ ජනජීවිතය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමේ අපෙක්ෂාව බැවින් මෙම වැඩසටහන ඉතා කාර්යක්ෂමව ඵලදායි අයුරින් ක්රියාකම්ක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාර තුමිය නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙන්ම දිස්ත්‍රීක් ලේකම් වරුනට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙහදී දැනුම් දෙනු ලැබීය.