උතුරේ යුධ හමුදාව යටතේ තිබූ තවත් ඉඩම් කොටසක් ජනතා අයිතියට

වවුනියාව දිස්ත්‍රික්කයේ මෙතෙක් යුධ හමුදාව භාවිතයේ තිබූ රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් වලින් තවත් එක් කොටසක් යුධ හමුදාව විසින් මහජනතාව වෙතට භාර දුන් අතර මෙම ඉඩම්  නිදහස් කිරීමේ  වැඩසටහන අද දින 2019.01.22  යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Casino Review NZ 2023

 

වවුනියාව දිස්ත්‍රික් යුධහමුදා මූලස්ථානය නියෝජනය කරමින් 56 වන යුධ හමුදා බලසේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා විසින් ඉඩම් නිදහස් කිරීමට අදාළ ලේඛණ ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වෙතට භාර දීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාරතුමන් විසින් එම ලේඛණ ඉදිරි කටයුතු සඳහා වවුනියාව දිස්ත්‍රික් දිසාපති අයි.එම්. හනීෆා මහතා වෙතට භාර දුන්නේය.

මෙම වැඩසටහන මගින් වවුනියාව දිස්ත්‍රික්කයේ යුධ හමුදා මූලස්ථානය යටතේ පැවති රජයේ ඉඩම් අක්කර 40.74 හා පෞද්ගලික ඉඩම් අක්කර 13.64 ප්‍රමාණයක් නිදහස් කරනු ලැබිණ.

තවද ඊයේ (21) දින යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම ආදි දිස්ත්‍රික්කවල යුධ හමුදාව යටතේ තිබූ පෞද්ගලික ඉඩම් අක්කර 264 හා රජය යටතේ තිබූ ගොවිපළවල් 4කට අයත් ඉඩම් අක්කර 1099ක ප්‍රමාණයක් නිදහස් කිරීමට අදාළ ලේඛණය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මුල්ලියවලෛ විත්තියානන්දා විද්‍යාලයේ දී පවත්වනු ලැබූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ආරම්භක වැඩමුළුවේ දී යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ්  සේනානායක මහතා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබූ අතර එම ලේඛණ ගරු ආණ්ඩුකාරතුමා විසින් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා  දිස්ත්‍රික් ලේකම්වරුන් හට භාර දුන්නේය.