උතුරු පළාතේ ඩිප්ලෝමාධාරීන් 215 දෙනෙකුට ගුරු පත්වීම්

පළාත් අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ඩිප්ලෝමාධාරී ගුරුවරුන් 215 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (31) පැවැත්විණි.

පත් වීමේ ලිපි ප්‍රධානය කරමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ ප්‍රාථමික අධ්‍යාපනය ඉතා වැදගත් බවයි. පහළ වැටුණු සමාජයක අද්දර සිටින ජනතාව නැවත ගොඩනැංවීම සඳහා ඔබ සතු අධ්‍යාපනය ඉදිරි පරම්පරාවට ලබා දෙන ලෙස පුකාශ කළ ආණ්ඩුකාරවරයා ජාතිය නැවත ගොඩනැංවීම සඳහා මෙම වගකීම භක්තියෙන් හා සමාජ අරමුණු සහිතව භාර ගන්නා ලෙස ඉල්ලීමක් ද කළේය.

ඉංග්‍රීසි ගුරුවරුන් 148 දෙනෙකු (ප්‍රාථමික) සහ ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් 67 දෙනෙකු මෙලෙස ඊයේ ආණ්ඩුකාරවරයාගේ සුරතින් පත්වීම් ලිපි ලබා ගන්නා ලදී.