අද දින විවෘත කරන ලද මෙම වීදිය හුදෙක් ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, අනාගත පරම්පරාවට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ කැපවීම සහ ඉන්දියා-ශ්‍රී ලංකා දෙරට අතර ඇති ගැඹුරු සංස්කෘතික සබඳතාව මතක් කර දෙන ඓතිහාසික සලකුණක් ලෙස පවතිනු ඇති බව උතුරු පළාත් ගෞරවණීය ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය.
සංගීතයෙන් සීමා මායිම් අභිබවා මිනිස් සිත් යා කළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුට, ඔහු ජීවත් වී සේවය කළ පසෙහි, ඔහුගේ නමින් වීදියක් විවෘත කර ගෞරව කිරීමට ලැබීම පිළිබඳව තමන් අතිශයින්ම සතුටට හා ආඩම්බරයට පත්වන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
අභාවප්‍රාප්ත වයලින් විද්වාන් මහාචාර්ය වී. ලක්ෂ්මීනාරායණ මහතාට ගෞරව පිණිස වීදිය නම් කිරීම සහ ස්මාරක දේශන උත්සවය අද බ්‍රහස්පතින්දා (2026.07.23) උදෑසන චුන්නාකම්, මරුදනාර්මඩම් හි පිහිටි උතුරු ශ්‍රී ලංකා සංගීත සභාව ඉදිරිපිටදී පැවැත්විණි. වීදිය විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව සෙසු වැඩසටහන් උතුරු ශ්‍රී ලංකා සංගීත සභා ශාලාවේදී පැවැත්විණි.
මෙම උත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය:
මෙම සුභ දිනය යථාර්ථයක් බවට පත්වීමට ප්‍රධාන හේතුසාධකය වූයේ ගෞරවනීය සංස්කෘතික අමාත්‍යවරයාය. සංගීත ප්‍රඥයාගේ පවුලේ අය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම සාමාන්‍ය ඉල්ලීමක් ලෙස නොසලකා, යාපනයේ කලා වර්ධනයට මඟ පෑදූ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුට ඉටු කළ යුතු නෛතික හා මානුෂීය යුතුකමක් ලෙස සලකා ඔහු එය මාගේ අවධානයට යොමු කළේය. කලාව සහ කලාකරුවන් අගය කරන අමාත්‍යවරයාගේ මෙම උසස් ගුණයට සහ අඛණ්ඩ උත්සාහයට උතුරු පළාත් ජනතාව වෙනුවෙන් මාගේ කෘතඥතාව පළ කර සිටිමි. මහාචාර්ය වී. ලක්ෂ්මීනාරායණ මහතා උපන් කේරළයේ එම ප්‍රාන්ත රජය විසින් දැනටමත් ඔහුගේ නමින් වීදියක් විවෘත කර ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය.
මහාචාර්ය වී. ලක්ෂ්මීනාරායණ මහතා ඉන්දියාවේ උපත ලැබුවද, ඔහුගේ කලා ජීවිතයේ ස්වර්ණමය කාලය ගෙවී ගියේ මෙම යාපන පසෙහිය. ඔහු හුදෙක් සංගීතඥයෙකු ලෙස පමණක් නොව, සිය ගණනක් සිසුන්ගේ ජීවිත සංගීතයෙන් හැඩගැස්වූ ඇවිදින විශ්වවිද්‍යාලයක් ලෙස ජීවත් විය. උතුරු ශ්‍රී ලංකා සංගීත සභාවේ ගුරුවරයෙකු සහ මාර්ගෝපදේශකයෙකු ලෙස ඔහු සේවය කළ කාලය තුළ යාපනයේ කර්නාටක සංගීතය නව මානයකට ළඟා වූ අතර, ඉන්දියාවට සමාන සංගීත ප්රගුණතාවයක් මෙහි නිර්මාණය කිරීමට ඔහු පාලමක් ලෙස කටයුතු කළේය.
එතුමාගේ පුත්‍රයා මෙන්ම සමස්ත ලෝකයේම පැසසුමට ලක්වූ වයලින් විද්වාන් පද්මභූෂණ ආචාර්ය එල්. සුබ්‍රමනියම් මහතා අප අතර සිටීම අප ලැබූ මහා ගෞරවයකි. ගෝලීය මට්ටමින් ජාත්‍යන්තර කලාකරුවන් රැසක් හා එක්ව ලෝක සංගීතයට ඔහු ඉටු කරන සේවය අමිලය. ඔහුගේ සංගීත ගමන ආරම්භ වූයේ යාපනයෙන් වන අතර, ඔහුගේ කුඩා කාලයේ මතකයන්, පළමු සංගීත පුහුණුව සහ පළමු ප්‍රසිද්ධ ප්රසාංගික ඉදිරිපත් කිරීම යන සියල්ලටම යාපනය සාක්ෂි දරා ඇත. මෙතරම් කීර්තියේ මුදුනට ගියද, සිය පියාණන් සංගීත සේවයේ නිරත වූ මෙම පසටම ඔහු පැමිණීමෙන් ඔහුගේ මූලයන් සහ සරල බව අපට පෙන්නුම් කරයි.
සැබෑ කලාකරුවන්ට කිසිදා මරණයක් නැත. මහාචාර්ය වී. ලක්ෂ්මීනාරායණ මහතා අපගේ පසෙහි රෝපණය කළ සංගීත බීජ අද මහා වෘක්ෂයන් බවට පත්වී ඇති බව ආණ්ඩුකාරවරයා සිය කතාවේදී වැඩිදුරටත් පැවසීය.
යාපනය රාමනාදන් විද්‍යාලයේ සිසුන්ගේ පිළිගැනීමේ නර්තනයෙන් ආරම්භ වූ මෙම උත්සවයේදී උතුරු පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දර්ශිණී මහත්මිය විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී. උඩුවිල් ප්‍රාදේශීය ලේකම් පී. ප්‍රේමිණී මහත්මිය විසින් හඳුන්වාදීමේ කතාව පවත්වන ලදී. මෙම උත්සවයේදී රාමනාදන් ලලිත කලා පීඨයේ ශිෂ්‍යාවන්ගේ විශේෂ නර්තනාංගයක් ද පැවැත්විණි.
ගෞරවනීය සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජෙනරාල් ශ්‍රී සායි මුරලි සහ වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අදහස් දැක්වූහ. උත්සවය අවසානයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූ එතුමාගේ පුත්, ලෝක පූජිත සංගීත ප්‍රඥ එල්. සුබ්‍රමනියම් මහතා විසින් ස්තූති කතාව පවත්වන ලදී.



