යාපනය දිස්ත්‍රික් මුහුදු පිපිඤ්ඤා (Sea Cucumber) වගාකරුවන් සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා මෙන්ම ගරු ආණ්ඩුකාරවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු පිපිඤ්ඤා වගාකරුවන් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු ඉ. චන්ද්‍රසේකර් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දින (2026.04.03) සිකුරාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මුහුදු පිපිඤ්ඤා වගාවන් සඳහා මෑතකදී වැඩිකරන ලද බදු ගාස්තු ගෙවීමේදී තමන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව වගාකරුවන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන ලදී. මෙම බදු ගාස්තු ගණනය කිරීමේදී මුහුදු පිපිඤ්ඤා සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින මිල පහත වැටීම සැලකිල්ලට ගෙන නොමැති බව පෙන්වා දුන් ඔවුහු, වත්මන් වෙළඳපොළ මිල පදනම් කරගනිමින් පොදු සූත්‍රයක් හරහා ගාස්තු නැවත ගණනය කරන ලෙසත්, වැඩිකරන ලද බදු ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ගරු අමාත්‍යවරයා සහ ගරු ආණ්ඩුකාරවරයා, වත්මන් ගාස්තු ගණනය කර ඇති නිල ක්‍රමවේදය පිළිබඳව වගාකරුවන් දැනුවත් කළහ. තවද, මුහුදු පිපිඤ්ඤා වගාකරුවන්ගේ මෙම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, තක්සේරු කිරීමේ ක්‍රියාවලිය නැවත සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ ප්‍රධානීන් සමඟ කඩිනමින් සාකච්ඡා කර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම සාකච්ඡාව සඳහා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ සම්බන්ධීකාරක එස්. කපිලන් මහතා සහ යාපනය දිස්ත්‍රික් මුහුදු පිපිඤ්ඤා වගාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.