ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ගරු අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරි වසර දෙක තුන ඇතුළත උතුරු පළාතේ සියලුම මාර්ග ප්‍රතිසංස්කරණය කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ප්‍රකාශ කළේය.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ තේමාව යටතේ, යාපනය දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 117.04 ක වියදමින් කාරෙනගර් වටරවුම් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද ඉරිදා (15.03.2026) පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, “මම යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස ප්‍රදේශවාසීන් කිහිප වතාවක්ම ඉල්ලා සිටියා. නමුත් එවකට පැවති වාතාවරණය හමුවේ එය ඉටු කිරීමට නොහැකි වුණා. වසර 40කට පමණ පසු මෙම රජය යටතේ මෙම මාර්ගයට විසඳුමක් ලැබී ජනතාවගේ දිගුකාලීන සිහිනය සැබෑ වීම මහත් සතුටක්.
කාරෙනගර් ප්‍රදේශය සංචාරක කර්මාන්තයට බෙහෙවින් ප්‍රසිද්ධ ස්ථානයක්. මෙතෙක් කල් සංචාරකයින් කසූරිනා වෙරළට පැමිණියේ අබලන් වූ මෙම මාර්ගය හරහායි. ඒ නිසා සංචාරක කර්මාන්තයටද විශාල බලපෑමක් එල්ල වුණා. මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ අනාගතයේදී සංචාරකයින්ගේ පැමිණීම කිහිප ගුණයකින් වැඩි වනු ඇත.”
“ගරු අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ ආර්. චන්ද්‍රසේකර් යන මහත්වරුන්ට පළාත් ජනතාව වෙනුවෙන් මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. බිමල් රත්නායක මහතා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි කාලයේ පවා අපේ දිස්ත්‍රික්කයට විමධ්‍යගත අරමුදල් වෙන් කළා. මම දිස්ත්‍රික් ලේකම්වරයාව සිටියදී එම අරමුදල් මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. එමෙන්ම අමාත්‍ය ආර්. චන්ද්‍රසේකර් මහතා යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක පුරා සෘජුවම ගොස් ජනතාවගේ ගැටලු විසඳමින් සිටිනවා. මොවුන්ගේ සහයෝගය ඇතිව පළාතේ සෙසු ගැටලු ද කඩිනමින් විසඳා ගත හැකියි.”
“මෑතකදී ඇති වූ ‘ඩිත්වා’ (Dithva) ආපදාවෙන් අපේ පළාතේ මාර්ග පද්ධතියට දැඩි හානි සිදු වුණා. කෙසේ වෙතත් රජයේ බුද්ධිමත් ක්‍රියාකලාපය නිසා මාර්ග තාවකාලිකව යථා තත්ත්වයට පත් කිරීමට වහාම ප්‍රතිපාදන නිදහස් කෙරුණා. දැනට ඒවා ස්ථිරවම ප්‍රතිසංස්කරණය කිරීමට ද මුදල් වෙන් කර තිබෙනවා. පළාත් සභාව හරහා ක්‍රියාත්මක වන වැඩසටහන් ද මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ සිදු කෙරෙනවා. එබැවින් රජයේ පූර්ණ සහයෝගය ඇතිව තවත් වසර දෙක තුනක් ඇතුළත උතුරේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කළ හැකි බව මම විශ්වාස කරනවා.” යැයි ඔහු පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා පවසා සිටියේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට නිසි පියවර ගෙන ඇති බවයි. එහි ඇති පරිපාලනමය ගැටලු කිහිපයක් ඉතා ඉක්මනින් විසඳනු ඇත. යාපනය දිස්ත්‍රික්කයේ දූපත් ආශ්‍රිත ප්‍රදේශවලින් ජනතාව විශාල වශයෙන් බැහැරව ගොස් ඇති බැවින් එම ප්‍රදේශ පාලුවට ගොස් ඇති බවත්, දැනට සිදුකරන යටිතල පහසුකම් සංවර්ධනය නිසා එම ජනතාවට නැවතත් තමන්ගේ උපන් ගම් බිම්වල පදිංචි විය හැකි බවත් ඔහු සඳහන් කළේය. තවද, ලෝක මට්ටමින් පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ඉන්ධන අර්බුදයක් ඇති විය හැකි බව සලකා බලා ‘QR’ ක්‍රමය නැවත හඳුන්වා දී ඇති බවත්, මෙම යුදමය තත්ත්වය තවත් මාස දෙකකට වඩා වැඩි කාලයක් පැවතුනහොත් එය දේශීයව අප සිදුකරන සංවර්ධන කටයුතුවලට ද බලපෑමක් එල්ල කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මුළු දිග කිලෝමීටර් 7ක් වන කාරෙනගර් වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 2ක් දැනටමත් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඉතිරි කිලෝමීටර් 5න් කිලෝමීටර් 2ක ප්‍රතිසංස්කරණ කටයුතු අද දින ආරම්භ කෙරිණි. ඉතිරි කිලෝමීටර් 3ක කොටස ‘ඩිත්වා’ (Dithva) ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මෙම වසර තුළ එය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී විධිමත් කාණු පද්ධතියක් සකස් කරන අතර, පහත් බිම් සහිත ස්ථානවල මාර්ගය උස් කොට ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
මෙම විශේෂ අවස්ථාව සඳහා ගරු අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, ආර්. චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු කේ. ඉලංගුමරන්, එස්. ශ්‍රී භවානන්දරාජා, ජේ. රජීවන්, කාරෙනගර් ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම්, කාරෙනගර් ප්‍රාදේශීය ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු, ප්‍රාදේශීය සභා ලේකම් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.





