“මා දිස්ත්‍රික් ලේකම්වරයෙකු ලෙස සේවය කළ කාල වකවානුවලදී නිවාස ව්‍යාපෘති සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ දේශපාලන බලපෑම් එල්ල විය. නමුත් වර්තමානයේ පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව, පූර්ණ ස්වාධීනත්වයකින් සහ විනිවිදභාවයකින් යුතුව අප කටයුතු කර ඇත,” යැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි, ‘ජාතික නිවාස වැඩසටහන – 2026’ තේමාව යටතේ පළාත් සභාවල නිවාස වැඩසටහන් ආරම්භ කිරීමේ දිවයින පුරා සමාරම්භක උත්සව අද බ්‍රහස්පතින්දා (12.03.2026) දින පැවැත්විණි.
මීට සමගාමීව උතුරු පළාතේ සමාරම්භක උත්සවය මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
උත්සවය ආරම්භයේදී, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ආදායම් බදු පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී ඊයේ දින සර්ප දෂ්ටනයකින් අකාලයේ අභාවප්‍රාප්ත වූ තිරුනාවුක්කරසු කිරුබාකරන් මහතාගේ ආත්මයට ශාන්තිය පතා විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වී විශේෂ දේශනයක් පැවැත්වූ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්:
රටේ නිවාස නොමැති අයෙකු සිටිය නොහැකි බව වත්මන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියයි. මෙය විවිධ අමාත්‍යාංශ සහ පළාත් සභා එක්ව ක්‍රියාත්මක කරයි. මේ වසර තුළ නිවාස 31,000ක් ඉදිකිරීමට නියමිතය.
උතුරු පළාතට වෙන් කරන ලද ප්‍රතිපාදන මගින් අප ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේදී, වැඩිම අවශ්‍යතාවයක් පවතින ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබා දී ඇත.
නිවාස ඉල්ලා මට ලැබෙන ඉල්ලීම් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර, ඔවුන් සුදුසු ප්‍රතිලාභීන් දැයි ක්ෂේත්‍ර චාරිකා මගින් තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් නිවාස ලබා දීමට කටයුතු කරමු.
එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහාද එය අතිරේකව තහවුරු කර ගනිමු. මේ ආකාරයෙන් ඉතා විනිවිදභාවයකින් යුතුව ප්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කර ඇත.
පසුගිය කාලවලදී නිවාස ව්‍යාපෘති සඳහා ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව පැමිණෙන්නේ අමාත්‍යවරුන්ගෙනි. නමුත් අපගේ මෙම ව්‍යාපෘතියේ කිසිදු ප්‍රතිලාභියෙකු අමාත්‍යවරුන් හෝ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තෝරා ගනු ලැබුවේ නැත. මෙම තේරීම් සම්පූර්ණයෙන්ම ස්වාධීනව අපගේ රජයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.
“නිවාස ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති ප්‍රතිලාභීනි, මෙය ඔබගේ නිවසයි. මෙය ඔබගේ යහපත් ජීවිතයට පදනම බව සිතට ගෙන නියමිත කාලය තුළ නිවාස නිම කළ යුතුය. ඔබගේ දරුවන් එම නිවසේ සතුටින් ජීවත් වී, හොඳින් අධ්‍යාපනය ලබා දියුණු විය යුතුය. ඔබගේ ගමේ සැබෑ සංවර්ධනය පවතින්නේ මාර්ගවල නොව, ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය මතය. තවද, මෙම නිවාස ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය අඩු මිලට ලබා ගැනීමට දිස්ත්‍රික් පරිපාලනය හරහා අවශ්‍ය පියවර ගන්නා බවට මම සහතික වෙමි,” යැයි ඔහු පොරොන්දු විය.
මෙහිදී අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ක. ඉලංගුමරන් මහතා වත්මන් රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ජනතාව දැනුවත් කළේය.
උතුරු පළාත් විශේෂිත සංවර්ධන දීමනා අරමුදලෙන් (Criteria-based Grant) මේ සඳහා රුපියල් මිලියන 151ක් වෙන් කර ඇත. ඒ යටතේ රුපියල් මිලියන 1.8ක් බැගින් නව නිවාස 75ක් ද, රුපියල් මිලියන 0.5ක් බැගින් නිවාස 32ක් අලුත්වැඩියා කිරීමට ද නියමිතය.
ඒ අනුව මාන්තෙයි නැගෙනහිර සහ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගත් ප්‍රතිලාභීන් 12 දෙනෙකු සඳහා චෙක්පත් මෙහිදී ප්‍රදානය කරන ලදී. අනෙකුත් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඇත.
ඉන් අනතුරුව මාන්තෙයි නැගෙනහිර විනායගපුරම් ප්‍රදේශයේ එක් නිවසකට සහ වන්නිවිලන්කුලම් ප්‍රදේශයේ නිවාස 3කට මුල්ගල් තැබීම සිදු කරන ලදී.
උතුරු පළාත් මුදල්, සැලසුම් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් අ. සෝතිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ක. ඉලංගුමරන් මහතා සහභාගී විය. එසේම උතුරු පළාත් ප්‍රධාන ලේකම් දනුජා මුරුගේසන් මහත්මිය, මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම් මංජුලාදේවි සතීසන් මහත්මිය, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් එම්. සර්මිලී මෙනෙවිය, පළාත් පාලන සහකාර කොමසාරිස් ටී. රතීස්වරන් මහතා, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභා ලේකම් පී. සිවදර්ශනී මහත්මිය ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රජයේ නිලධාරීන් සහ ප්‍රතිලාභීන් රැසක් සහභාගී වූහ.




